ලස්‌සන පාරක්‌ තිබුණාට ලස්‌සන වාහනයක්‌ ගන්න ජනතාවට මුදල් නැහැ - උදාර රත්නායක.

ලස්‌සන පාරක්‌ තිබුණාට ලස්‌සන වාහනයක්‌ ගන්න ජනතාවට මුදල් නැහැ - උදාර රත්නායක.


කලාකරුවන් දේශපාලනයට ඒම සම්බන්ධව පසුගිය කාලය තුළ උණුසුම් කතාබහක්‌ ඇතිවිණි. කෙසේ වෙතත් කලාකරුවෝ විවිධ පක්‍ෂ හරහා සිය දේශපාලන කටයුතු කරමින් සිටී. උදාර රත්නායක යනු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ බෙනට්‌ රත්නායක මහතාගේ පුත්‍රයා වන අතර මෙවර බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට ඔහු කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කරයි. උදාර රත්නායක සමඟ කරනු ලබන සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - කලාකරුවෙක්‌ විදිහටයි අපි ඔබව හඳුනා ගන්නේ. නමුත් ඔබ මේ වනවිට බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. ඇයි දේශපාලනයට එන්න හිතුවේ?

පිළිතුර - දේශපාලනයට එනවා කියලා හිතුවේ හදිසියේම නොවෙයි මීට දීර්ඝ කාලයකට පෙර සිටයි. ඒ නිසාම මම අධ්‍යාපන කටයුතුත් කළේ දේශපාලන අංශයෙන්. මගේ පශ්චාත් උපාධියත් කළේ දේශපාලන සංවර්ධන අංශයෙන්. පසුව මම එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ සම්බන්ධ වුණා. දැනට තරුණ වෘත්තියවේදීන්ගේ සංසදයේ උප සභාපති ලෙස කටයුතු කරනවා. මට මෙවර අපේක්‍ෂකත්වය ලැබුණෙත් කලාකරුවකු නිසා නොවෙයි තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ කළ කටයුතු නිසායි. එම සංසදයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ හැකියි. මා ඉදිරිපත් වුණේ ඒ අපේක්‍ෂකයා ලෙසයි.

ඉතින් හදිසියේම දේශපාලනයට ආ ගොඩට මාවත් වැටිලා තියෙනවා. නමුත් එකපාරට නොවෙයි ආවේ අවුරුදු ගණනාවක්‌ දේශපාලන කටයුතු කළ නිසායි. නමුත් අද රට ගැන හිතලා දේශපාලනයට එන රැල්ලට මාවත් වැටිලා තිබෙනවා ඒ ගැන කනගාටුයි. කොහොම වෙතත් මා මෙතරම් ඉක්‌මනින් දේශපාලනයට එන්න හිතුවේ නැහැ. නමුත් අද රටේ තිබෙන ප්‍රශ්න දෙස බැලුවහම සහ රටේ තිබෙන විනිවිදභාවයකින් තොර කටයුතුවලට එරෙහි වෙන්න මට ශක්‌තියක්‌ තිබෙන නිසායි මා දේශපාලනයට ආවේ.

ප්‍රශ්නය - දේශපාලනයට පිවිසෙන්නන් දෙස බැලුවහම බොහෝ විට අසන්නට ලැබෙනවා ඔවුන්ට ඒ සඳහා නිසි සුදුසුකම් තිබෙනවාද කියන කාරණය. මෙය ඔබට අදාළ වන ආකාරය පිළිබඳව කතාකළොත්.

පිළිතුර - කුමන අධ්‍යාපන සුදුසුකමටවත් වඩා දේශපාලනයට පැමිණෙන්නන්ට මුලින්ම රට පිළිබඳව කැක්‌කුමක්‌ තිබෙන්න ඕනෑ. ඔහුගේ වෘත්තිය මොකක්‌ද කියන එක අදාළ නැහැ කියලායි මට හිතෙන්නේ. නමුත් මා ගැන කියනවානම් මා කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේ එසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලය සඳහා ඇතුළු වුණා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධනය පිළිබඳ උපාධිය හැදැරුවා.

ප්‍රශ්නය - ඇයි ඔබ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසියේ ?
පිළිතුර - මේ පවතින පාලනයට හිතට එකඟව කාටවත් එකඟ විය නොහැකියි. ඒකම තමයි ප්‍රධානම හේතුව අපි ආණ්‌ඩුවට සහාය නොදීමට. මීට පෙර අපේ පවුලේ මට පෙර කව්රුවත් දේශපාලනය කරලා නැහැ. අද රටේ තිබෙන පාලන සංස්‌කෘතියට එකඟ වෙන්න බැරි නිසයි එජාපය සමඟ මා එක්‌වුණේ. ඒ වගේම මේ රට නියත වශයෙන්ම සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ එජාපයටයි. ඒ සඳහා සුදුසු ප්‍රතිපත්ති එජාපයට තිබෙනවා. ඒ විශ්වාසය මතයි මා එජාපයට එක්‌වන්නේ. අපි අදටත් බුක්‌ති විඳින්නේ එජාපය ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයි. අපිට අදටත් ඇහෙන්නේ නැහැ. එජාපය කාලේ හැදුනු විදුලි බලාගාර අක්‍රිය වුණා කියලා නොරොච්චෝලේ වගේ. අපේ පක්‍ෂයේ සිටි දේශපාලන නායකයන් රටට සැබෑ සංවර්ධනයක්‌ කළා ඒ විශ්වාසය තවමත් අපට තිබෙනවා.

ප්‍රශ්නය - පියාගේ අඩිපාරේ යන පුත්තු ගැන තමයි අපිට වැඩිපුර අහන්න ලැබෙන්නේ. ඔබටත් හිතුනේ නැද්ද කලා කටයුතු කරගෙන හිටියා නම් හොඳයි කියලා.
පිළිතුර - මම කලාව අතහැරලා නැහැ. කලාවට එන්නත් කලින් ව්‍යාපාර
කටයුතුවලයි නිරත වුණේ. මම අපනයන අංශයේ ව්‍යාපාර තමයි කරන්නේ. ඉතාමත් සීමිත ප්‍රමාණයකින් තමයි කලා කටයුතුවලට දායක වෙලා තිබෙන්නේ. කලාව අමතක කරන්නේ නැහැ. කලාකරුවෙක්‌ කියන කාරණය දේශපාලනයට සුදුකමක්‌ කියා මා හිතන්නේ නැහැ. මට අවශ්‍ය වන්නේ ජනතාවගේ ප්‍රශ්නවලට යම් ප්‍රමාණයකින් හෝ පිළිතුරු ලබා දෙන්නටයි.


අද රටේ දේශපාලනය කියන්නේ ඉතාම නරක තැනක්‌. දේශපාලනය කරන්න නම් එක්‌කෝ මැරයෙක්‌ හෝ වෙනත් සමාජ අසාධාරණකම් සිදු කිරීම සුදුසුකමක්‌ වෙලා තිබෙනවා. මේ තත්ත්වය අපි කොතනින් හෝ වෙනස්‌ කළ යුතුයි. ඒ සඳහා අපි කොහෙන් හෝ ආරම්භයක්‌ ගත යුතයි. මේ රටට වැඩක්‌ කළ හැකි පුද්ගලයන් වත්මන් තත්ත්වය හමුවේ නිහඬවයි සිටින්නේ. නැතිනම් රට දාලා යනවා.

ඉතින් මේ මැර සහ අසම්මත දේශපාලනය වෙනස්‌ කිරීමේ අරමුණ ඇතිවයි අප දේශපාලනයට එන්නේ. ඒවගේම මා කිව යුතුයි අද ජනතාවට විශාල ප්‍රශ්න තිබෙනවා. ඒවා අසම්මත ආකාරයෙන් විසඳගන්නත් ඔවුන් මේ අසම්මත දේශපාලනය භාවිතා කරනවා. එවැනි තත්ත්වයක්‌ ඇතිවීමට වගකිව යුත්තේ මේ පාලන ක්‍රමයයි. මේ ක්‍රමය අපි වෙනස්‌ කළ යුතුයි.

ප්‍රශ්නය - මෙවර පළාත් සභා මැතිවරණයේදී කලාකරුවෝ රැසක්‌ දේශපාලනයට පිවිසෙන්න උත්සාහ කළා. ඒ ඇතැම් අයට ඒ සඳහා අවස්‌ථාව ලැබුණේ නැහැ. ඔබ වැටෙන්නේත් කලාවෙන් දේශපාලනයට පැමිණි අයෙකු ලෙසයි.
පිළිතුර - ඔව්. කලාකරුවන් දේශපාලනය කිරීමේ වැරැද්දක්‌ නැහැ. අවශ්‍ය වන්නේ නිවැරැදි දැක්‌මක්‌ ඇතිව දේශපාලනය සිදු කිරීමයි. කලාකරුවන් දේශපාලනයට පිවිසීම අද ඊයේ සිදු වූවක්‌ නොවෙයි. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක්‌වූ රොනල්ඩ් රේගන් මහතා කලාකරුවෙක්‌. අපේ රටේ ජනාධිපතිවරයා පවා කලා කටයුතුවල නිරතවූ අයෙක්‌.

නමුත් අද කලාව තුළින් නම කැත කරගත් අය කලාවටත් ගැලපෙන්නේ නැති අය අද දේශපාලනයට පිවිසීම ගැන කනගාටුවක්‌ තිබෙනවා. අපි දුටුවා පසුගිය කාලයේ සංධානයෙන් නිළියන් කිහිප දෙනෙකු නාමයෝජනා ඉල්ලා තිබෙනවා. හැබැයි ඒ අයට නාමයෝජනා නොදීම පිළිබඳව මා පෞද්ගලිකව සතුටු වෙනවා. මේ ආණ්‌ඩුව මෑත කාලයේ ගත්තු හොඳම තීරණයක්‌ තමයි ඒක.

ප්‍රශ්නය - ඔබ කොළඹ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වන්නේ. කව්රුත් පිළිගන්නවා එදා තිබුණු කොළඹ නොවෙයි අද තියෙන්නේ කියලා. ආණ්‌ඩුව කොළඹ සංවර්ධනය කරමින් යනවා. මෙවැනි තත්ත්වයකට ඔබ වැනි අපේක්‍ෂකයන් මුහුණ දෙන්නේ පරාජිත මානසිකත්වයකින් නේද?
පිළිතුරු - ඔව් කොළඹ නගරය ඉතාමත් ලස්‌සන වෙලා තිබෙනවා. මා එය පිළිගන්නවා. නමුත් අද කොළඹ ජනතාවට ජීවත්වෙන්න අමාරුයි. බඩගින්නේ සිටින පිරිස එන්න එන්නම වැඩි වෙනවා. ලස්‌සන පාරක්‌ තිබුණාට ලස්‌සන වාහනයක්‌ ගන්න ජනතාවට මුදල් නැහැ. ව්‍යායාම කරන්න ලස්‌සනට මංතීරු හදලා තිබුණාට මිනිසුන්ට නිසි පෝෂණයක්‌ නැහැ. ඔවුන්ට ව්‍යායාම කරලා ශරීරයෙන් දහනය කරන්න දෙයක්‌ නෑ.

මේ අලංකරණයෙන් වරප්‍රසාද විඳින්නේ කොළඹ එක්‌තරා සීමිත පිරිසක්‌. ජනතාවට අද හැම පැත්තෙන්ම ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ට වෙනසක්‌ අවශ්‍ය වී තිබෙනවා. නගර අලංකරණය කරලා තිබුණාට සංවර්ධනය වෙලා කියන්න බැහැ. ජනතාවගේ ජීවන රටාවට ඔය කියන සංවර්ධනය දැනිලා නැහැ. ඒ නිසා අපට හොඳ අවස්‌ථාවක්‌ තිබෙනවා මෙවර මැතිවරණයේදී.

ප්‍රශ්නය - එජාපය බස්‌නාහිර ජයග්‍රහණය කළොත් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව වෙනුවෙන් ඔවුනගේ ගැටලු වෙනුවෙන් ලබාදෙනු ලබන සහන මොනවාද?
පිළිතුර - ඇත්තටම පළාත් සභාව මගින් කළ හැකි කරුණු කිහිපයක්‌ මා හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් කොළඹ අපද්‍රව්‍ය බැහැරකිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සම්බන්ධව ලොකු ගැටලු තිබෙනවා. ඒ සඳහා යම් තිරසාර විසඳුමක්‌ ලබා දිය යුතුයි. ඒ වගේම තරුණ තරුණියන්ගේ ව්‍යවසාය කටයුතු වෙනුවෙන් වැඩ සටහන් කළ යුතුයි, ඔවුනගේ හැකියාවන් ඔප් නැංවීමටත් කටයුතු කළ යුතුයි. අද කොළඹ බොහෝ විට දෙමව්පියන් දෙදෙනාම රැකියා කරනවා. එවිට දරුවන්ගේ ආරක්‍ෂාව සහ සුබසාධනය වෙනුවෙන් කටයුතු සම්පාදනය කිරීම අවශ්‍යයි. ළමා සුරැකුම් මධ්‍යස්‌ථාන, සෞඛ්‍ය, අධ්‍යාපන කටයුතු සම්බන්ධව බැලිය යුතුයි. කොළඹ නිවාස ප්‍රශ්නයක්‌ තිබෙනවා. අවුරුදු ගණනාවක්‌ ජීවත්වූ නිවාස කඩා බිඳ දමනවා. ඊට අපි විරුද්ධයි. ඔවුන්ගේ ජීවන රටාව වෙනස්‌ කරනවාට අපි විරුද්ධයි. කොළඹ නිවාස නොමැති ජනතාවට නිසි විසඳුමක්‌ අවශ්‍යයි.

සාකච්ඡා කළේ අකිත පෙරේරා.

No comments:

Latest Video

Powered by Blogger.