විමල් - බැසිල් ගැටුමක් : පොහොට්ටුවේ නාමයෝජනා අර්බුදයක්.


විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ මන්ත්‍රී අපේක්ෂකයින් 800කට වැඩි පිරිසකට 'පොහොට්ටුවෙන්' තරඟ කිරීමට අවස්ථාව ඉල්ලීම නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීමේ වගකීම බාරව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මෙවර පළාත් පාලන මැතිවරණය එක් පක්ෂයකින් ඉදිරිපත් කල හැකි අපේක්ෂකයින් ගණන 8000කට ආසන්න වේ.

එම තත්වය යටතේ විමල්ගේ පක්ෂයට සියයට 10ක අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව දීම අපහසුබව බැසිල් රාජපක්ෂ මහතා විසින් විමල් විරවංශ මහතාට දැනුම්දී ඇත.

එහෙත්, තම පක්ෂයේ ක්‍රියාකාරීන් අපේක්ෂකයින් කප්පාදු කිරීමට සුදානමක් නැතැයි ජාතික නිදහස් පෙරමුණ දැනුම් දී තිබේ.

ජී.එල්. පීරිස්ගේ නිවෙසේ:

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ලැයිස්තුව සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර මෙම සාකච්ඡාව පැවත්වෙන්නේ ජී.එල්. පීරිස් මහතාගේ කොළඹ පිහිටි නිවෙසේදීය.

ජාතික නාම යෝජනා මණ්ඩලය සහ ඒ ඒ දිස්ත්‍රික්කවල නාම යෝජනා මණ්ඩල සාකච්ඡා කර නාම යෝජනා සකස් කිරීම, කේවල හා සමානුපාත ක්‍රමයට ඉල්ලුම් කරන අපේක්ෂකයන් ගණන ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා වෙමින් පවතී.

ඊයේ (15දා) ආරම්භ වූ මෙම සාකච්ඡාව අද (16දා) සහ හෙට (17දා) දිනවලද පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවලින් අනතුරුව අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.

No comments:

Latest Video

Powered by Blogger.