ශ්‍රීලනිප - ඒකාබද්ධ දීගයට වෙච්ච දේ?


ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය එක්වතරඟ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නියෝජිතයින් අතර අද (28) පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වී ඇත.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ තවත් සාකච්ඡාවක් ඉදිරි දිනයකදී පැවැත්වෙන බවයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එක්ව සිටියහ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර, ඔවුන් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුවෙන් ඉවත්වී එන්න :

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ අවසන් තීරණයකට අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු නොකර හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව සාකච්ඡාවලට පැමිණෙන ලෙසට ඔවුන් නිදහස් පක්ෂයට දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින බවයි.

හොරගල් ඇහිලිම :

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පුවත්පතකට ප්‍රකාශකර තිබෙන්නේ ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවයක් ඇතිවී තිබෙන බවට පළ වන වාර්තා නිවැරදි නොවන බවය. දැනට පැවැත්වෙන සාකච්ඡා ප්‍රකාර කණ්ඩායම තීරණයක් ගනු ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ ඒකාබද්ධය සමග සාකච්ඡාවලට තමාගේ මැදිහත්වීමක් නොමැති බවයි.

ශ්‍රීලනිප - ඒකාබද්ධ නියෝජිතයින්ගේ සාකච්ජා පිළිබඳව අදහස් දැක්වූ දේශපාලන විචාරකයකු පැවසුයේ, දෙපාර්ශවය සාකච්ජා පවත්වමින් කල් මරන්නේ තමන්ගේ පාක්ෂිකයින් රැවටීමට බවයි.

එජාපයට එරෙහිව පළාත් පාලන මැතිවරණයේදී එක්වන ලෙස දෙපාර්ශවයේ නායකයින්ට පාක්ෂිකයින්ගෙන් හා හිතවතුන් ගෙන් බලපෑම් එල්ලවී ඇති තත්වයක් තුල මෛත්‍රී පාර්ශවය මෙන්ම, මහින්ද පර්ශවය ද 'හොරගල්' අහුලමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒකාබද්ධ යෝජනා ප්‍රතික්ෂේප කරයි.

පළාත් පාලන ඡන්දයට එක්‌ව තරග කිරීමට නම් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම දෙසැම්බර් 09 දා අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර සිය අවංකභාවය පෙන්විය යුතු බවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (28 දා) කර තිබු යෝජනාව ශ්‍රීලනිපය විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙසේ ඒකාබද්ධය අයවැයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දැක්වූ මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසුයේ, අයවැයට පුර්ණ සහය පලකරන බවට ශ්‍රීලනිපය අමාත්‍ය මංගල සමරවීර මහතාට සහතික වී ඇති බවයි.

ශ්‍රීලනිප මහා ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා මංගල සමරවීර මහතා අතර හමුවක් ඊයේ (28) මුදල් අමාත්‍යංශයේදී සිදුව ඇත.

ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ - ඒකාබද්ධය කොන්දේසි පනවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රැස්වූ අතර එහිදී තීන්දු කිහිපයකට එළැඹි බව කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

''ශ්‍රීලනිප කණ්‌ඩායම ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අයවැය පරාජය කිරීමට කටයුතු කිරීමයි. මේ 09 වැනිදා අයවැය අවසන් වර ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරලා ශ්‍රීලනිප මන්ත්‍රීවරු තමන්ගේ අංකභාවය පෙන්විය යුතුයි. ඉන් පස්‌සේ පළාත් පාලන මැතිවරණයට අපිට එකට එකතුවෙලා තරග කරන්න පුළුවන් යෑයි'' ගාමිණී ලොකුගේ මහතා පැවසුවේය.

'ආණ්‌ඩුවේ ඉන්න කල් එකතු වෙන්නේ නැ'

ඒගොල්ලන් ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්නේ නැත්නම් අපි පොහොට්‌ටුවෙන් තරග කරනවා. දැනටමත් අපි අපේක්‍ෂකයන් තෝරාගෙන ඉවරයි. ආණ්‌ඩුවේ ඉන්න කල් අපි එයාලා එක්‌ක එකතු වෙන්නේ නැතැයි කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද එම සාකච්ඡාව අවසන්ව පැමිණ මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය.


මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී එළැඹි තීරණය දෙපාර්ශ්වය එක්‌කිරීම සඳහා පත්කළ කමිටුවේ ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයන් වන පවිත්‍රා වන්නිආරච්චි, සී. බී. රත්නායක සහ මහින්ද යාපා අබේවර්ධන යන නියෝජිතයන් විසින් ශ්‍රීලනිප කමිටු සාමාජිකයන්ට දැනුම් දීමට එකඟ වී ඇත.

ඒකාබද්ධය තනිවම ඡන්ද සටන අරඹයි - ඊයේ ගත් තීරණ මෙන්න

පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු ආකාරය සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඊයේ (28) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී රැස්වූ අතර එහිදී තීරණ රැසක් ගෙන ඇත.

නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන ආයතන 93 සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අදාළ නාමයෝජනා පත්‍ර ලබන 04 වැනිදා වනවිට සකස් කර අවසන් කිරීමට එහිදී තීරණය කර තිබේ.

ලබන 5 වැනිදා සිට නාමයෝජනා පත්‍රවලට අපේක්ෂකයන්ගේ අත්සන් ලබාගැනීමට ද මෙහිදී තීරණය කෙරුණු බව දේශපාලන ආරංචි පවසයි.

ලබන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා දිනවලදී නාමයෝජනා භාරදීමට ද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකවරුන් තීරණය කර තිබේ.

අද (29) සහ හෙට (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රීක් සංවිධායකවරුන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතය.

ලබන 01 වැනිදා සහ 02 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් යළි රැස්වීමට නියම කරගෙන ඇත.

මෙම මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත්කිරීම ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගෙන ඇති තවත් තීරණයකි.


දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම සහ උදය ගම්මන්පිල එහි සාමාජිකයන් වේ.

No comments:

Latest Video

Powered by Blogger.