සිම්බාබ්වේ නව රජයේ ප්‍රධාන කැබිනට් තනතුරු හමුදා ලොක්කන්ට.

සිම්බාබ්වේ නව ජනපති එමර්සන් නාන්ගාවා විසින් මේ වන විට සිය කැබිනට් මණ්ඩලය නම්කර ඇති අතර එයට අනුව ප්‍රධාන පෙළේ කැබිනට් තනතුරු සියල්ලම පාහේ උසුළන්නේ හමුදා ප්‍රධානීන් විසිනි.

මේ අතරින් ජාත්‍යන්තර අවධානය දිනාගත් නව කැබිනට් ඇමතිවරුන් දෙදෙනා මෙසේ ය.

මුගාබේව නිවාස අඩස්සියට ගත් බව කියමින් හමුදා පාලනය ගැන මුලින්ම රූපවාහිනියෙන් ජනතාව හමුවේ පෙනී සිටි ජනරාල් සිසුසිසෝ මොයෝ, නව රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ය.!

සිම්බාබ්වේ ගුවන් හමුදාපති පෙරෙන්ස් ෂිරි, කෘෂිකර්ම සහ ඉඩම් කටයුතු ඇමතිවරයා ය.!

මේ වන විට 37 වසරක මුගාබේ පාලනයට සහාය දුන් ඔහුගේ හිතෛෂී ඇමතිවරුන් ලැයිස්තුවෙන් කපා හැර ඇති නමුත්, මුගාබේගේ පාලනයට සහාය දැක්වු බොහෝ දේශපාලකයන් නව රජයේ ද විවිධ තනතුරු උසුළයි.

එමර්සන්ගේ කැබිනට් මණ්ඩලයේ සෙසු සියලුම තනතුරු පාහේ පිරිනමා ඇත්තේ මුගාබේ හිතෛෂීන් වෙත ය. ඔවුන් අතරින් ද බහුතරයක් මුගාබේ ගේ කැබිනට් ඇමතිවරුන් ලෙස කටයුතු කළ අය බව ද වාර්තා වේ.

මෝගන් ස්වන්ගිරායි ප්‍රමුඛ සිම්බාබ්වේ විරුද්ධ පක්ෂය විසින් මෙම නව කැබිනට් මණ්ඩලය හඳුන්වා දෙන්නේ ‘ජනතා අපේක්ෂාවලට පයින් ගැසීමක්’ ලෙස ය. රට ප්‍රජාතන්ත්‍රවාදය වෙත ගෙන යාම සඳහා තිබූ හොඳම අවස්ථාවක් අතහැර ගැනීමක්’ වශයෙන් ද ඔවුහු මෙය හඳුන්වා දෙති. 

-අමාලි ජයවීර (LNW)

No comments:

Latest Video

Powered by Blogger.