විනාශ වූ රන්මිහිතැන්න ගොඩගන්න, ඩයනා ලෑස්තියි.


රන්මිහිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලිසිනමා ගම්මානයේ උදාවී ඇති තත්ත්වය එහි ඉදිකර ඇති නගර දිනෙන් දිනම විනාශ වී යෑම, සුනාමියකට හසුවූ නගර සේ දිස්වීම මහත් කනගාටුවකට කරුණක් බව, ටෙලි සිනමා ගම්මානය නරඹන්නනෝ පවසති.

ඉදිකර ඇති පසුතල නගරයන්හි ගොඩනැගිලි, පදික වේදිකා මේ වනවිට විශාල ප්‍රමාණයක් කැඩී බිඳී විනාශ වී තිබෙන බවත්, ඒවා නැවත ප්‍රතිසංස්කරණයක් කර නොතිබීමෙන් අබලන්ව පවතින බවද ඔවුහු පෙන්වා දෙති.

මාවත්හි තණකොළ වැවී, ගවයන්ද ලගින් ස්ථානයක්  බවත්, මෙහි නඩත්තු කටයුතු නොකිරීමෙන් අබලි ද්‍රව්‍ය ගබඩා කළ ස්ථානයක් බව හැඟෙන බවද එම පිරිස් පවසති.

ලාංකීය කලාකරුවන්ගේ නිර්මාණය සඳහා ජාතික මට්ටමේ මෙවැනි ගම්මානයක් අවශ්‍යතාව අනුව රුපියල් මිලියන 1500ක ආයෝජනයකින් අක්කර 235ක් විශාල භූමි ප්‍රමාණයක ඉදිකළ මෙම ටෙලි සිනමා ගම්මානය 2010 මාර්තු 10 විවෘත කෙරිණි.

විවෘත කළදා සිට ලාංකීය චිත්‍රපටි, ටෙලිනාට්‍ය, ඉන්දීය චිත්‍රපටි රාශියක් මෙහි රූගත කිරීම්ද සිදුකර තිබෙන බවද තමන් වෙනුවෙන් ආහාර ලබාගැනීමට ආපන ශාලාවක්වත් මෙහි නොමැති වීම මහත් ගැටලුවක් බව කලාකරුවෝද පවසති.

මේ පිළිබඳව, රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපතිනි ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවාය.

"මෙහි සංවර්ධන කටයුතු 2012 දී සිටම නතර වෙලා තිබුණේ. 2014 වෙනකම්ම කිසිම මුදලක් මෙහි නඩත්තු සඳහා වෙන් වෙලා නැහැ. ඒත් රන්මිහිතැන්නට වෙන්වූ මුදලක් මහා භාණ්ඩාගාරයේ තියෙනවා. ඒ සඳහා මම යෝජනාවලියක් සකසා මෙහි ඉදිරි සංවර්ධන කටයුතු දැන් ආරම්භ කරමින් පවතිනවා. මෙවර අයවැය යෝජනා මගින්ද මංගල සමරවීර ඇමතිතුමා රන්මිහිතැන්න ගොඩගන්න මුදල් යෝජනා කර තිබෙනවා.

දැනට ඇතුලේ, ගරා වැටී ඇති සියලුම නගර අනුරූ යළි නිර්මාණය කරනවා. රන්මිහිතැන්නෙන් රටට ආදායමක් එන ලෙසට වැඩක් ගන්න මා කටයුතු කරනවා. මේ සඳහා ඉන්දියානු ආධාර, උපදෙස් අරගෙන මෙහි ඇති චිත්‍රාගාර, නගර, තවත් දියුණු කරනවා. මේ සඳහා උපදේශන කමිටුවක් පත්කර ඒ අයගේ උපදෙස්ද අරගෙන රන්මිහිතැන්න ලෝකයට විවර කිරීමට කටයුතු කරනවා."

(අද)

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.