'ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්'- ජනාධිපති [Video]


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමග සිටින්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රත්නපුර ප්‍රදේශයේ අද (27) පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා ගුවන් සේවා ආයතනවල සිදු වූ බව කියන වංචා දූෂණ සෙවීමට අදාළ ජනාධිපති කොමිසම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව ඒ මහතා එහිදී කියා සිටියේය.


රවී ගේ ප්‍රකාශය වළක්‌වා ගත්තේ අගමැති - ජනාධිපති කියයි

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක බැඳුම්කරය ගැන තමා කළ ප්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තුවේදී කරන්න ගිය විශේෂ ප්‍රකාශය මුල් අවස්‌ථාවේදී අගමැතිවරයා විසින් වළක්‌වා ගත් බවත්, දෙවැනි වර එය වළක්‌වා ගත්තේ කථානායකවරයා විසින් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදීය.

එහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසිය.

 ''බැඳුම්කර කොමිෂන් වාර්තාව ගැන මා කළ ප්‍රකාශය අසත්‍ය බව රවි කරුණානායක ප්‍රකාශ කළා. නමුත් එම ප්‍රකාශය කළේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ උපදෙස්‌ ඇතුවයි.

බැඳුම්කරය ගැන රවි කරන්න ගිය ප්‍රකාශය සිය දිවි නසා ගැනීමක්‌ ලෙසයි මා දකින්නේ.

මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තා බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව නීතිමය කටයුතු සහ එහි ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අයහපත් තත්ත්වයන් වළක්‌වා ගැනීම සඳහා මම සෑම කැපවීමක්‌ම කරනවා.''


තවදුරටත් මාධ්‍ය ප්‍රධානින් ඇමතු ජනාධිපතිවරයා ජාතිය අමතා තමන් කල ප්‍රකාශය කිහිප දෙනෙකු විසින් පිටපත් කරනු ලැබුවක් බව කියා සිටියේය.

ගෝඨා අත්අඩංගුවට නොගත් හේතුව ? 

එසේම ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට නොගත් හේතුව ජනාධිපතිවරයා ඊයේ පැහැදිලි කළේය.

''ගෝඨාභය රාජපක්‌ෂ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ගොනුව පොලිස්‌පතිවරයාට ලැබී තිබුණා. ඔහු මට ඒ බව දැන්වුවා. ගෝඨාභය රාජපක්‌ෂ පමණක්‌ නොවෙයි වෙනත් ඕනෑම දේශපාලන චරිතයකට එරෙහිව නඩු පැවරීමේදී වඩාත් හොඳින් සොයාබැලිය යුතු බව මා අගමැතිවරයාට දැනුම් දී තිබෙනවා.

ගෝඨාභය රාජපක්‌ෂ ගැන ලිපිගොනුව මට ලැබුණ දවසේ අගමැතිවරයා සිටියේ ඉන්දියාවේ. අගමැතිවරයා ඉන්දියාවට ගොස්‌ තිබුණේ එදින උදයේ මට ලිපිගොනුව ලැබුණු බව පොලිස්‌පතිවරයා දැනුම් දුන්නේ සවස.

අගමැතිවරයා ලංකාවට ආ පසු මා මේ බව ඔහුට දැනුම් දුන්නා. අදාළ ලිපිගොනුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ලවා පරීක්‍ෂා කර ඒ පිළිබඳව තීරණයක්‌ ගතයුතු බව මා ප්‍රකාශ කළා.

ප්‍රතිඵල නැති අහක දාන නඩු පවරන්න එපා කියලයි මම උපදෙස්‌ දුන්නේ. එහෙම වුණොත් අපිට විශාල ප්‍රශ්නයක්‌.''

කෙසේවුවද බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පසුගියදා ප්‍රසිද්ධ රැස්වීමකදී කියා සිටියේ, ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා ජනාධිපතිවරයා ඔහුට විදේශ ගතවීමට උපදෙස් දුන් බවයි.


ගෝඨාභය රාජපක්‌ෂ මහතා පසුව එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර තිබිණ.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.