'එදා අප ලස්‌සන කළ කොළඹ, අද ගඳ ගසන නගරයක්‌ වෙලා' : මහින්ද.


ඇමැතිවරු ජනාධිපතිවරයා විහිළුවට ලක්‌ කරන බවත්, මේ තනතුර මේ විදියට හෑල්ලු කළොත් රටත් ජනතාවත් හෑල්ලුවට ලක්‌ වනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

 කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පෙරේදා (18 දා) පස්‌වරුවේ පැවැති "ඔබ දිනවන කොළඹ ගමන'' මැයෙන් කොළඹ හදන වැඩපිළිවෙළ ජනගත කිරීමේ උත්සවයට එක්‌වෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.

මෙහිදී කොළඹ පුරපති අපේක්‍ෂක ඇතුළු අපේක්‍ෂකයන් විසින් කොළඹ හදන වැඩපිළිවෙළ හිටපු ජනාධිපතිවරයාට පිරිනැමුණි.

ආරාධිත ක්‍රියාකාරීන් මෙම හමුවට එක්‌ව සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

 ඔබ ජීවත්වන කොළඹ නගරය අද වැටී ඇති තත්ත්වය පිළිබඳව මම අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ. තැනින් තැන කුණු ගොඩ ගැහිලා. කොළඹ ගඳගහන නගරයක්‌ බවට පත්වෙලා. මදුරුවන්ගෙන් පිරි නගරයක්‌ බවට පත්වෙලා.

 කොළඹ නගරයේ ජීවත් වූ පොලොන්නරුවේ අපේ මන්ත්‍රීවරයකුගේ දියණියක්‌ ඩෙංගු වැළඳී මියගියා. ඩෙංගු වසංගතය මුළු රටම වෙලාගෙන විශේෂයෙන් කොළඹ නගරයේ.

 එදා අපි ලස්‌සන කර භාරදුන් කොළඹ නගරය සැලසුමකින් තොරව නැවත වරක්‌ ආපස්‌සට යමින් තිබෙනවා. එදා අප ආරම්භ කරපු සංවර්ධන වැඩ සම්පූර්ණයෙන් ඇනහිටලා. විශේෂයෙන් පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් නව තට්‌ටු නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ඇතිකර 2018 වර්ෂය ආරම්භ වන විට ඔවුන් ඒවායේ පදිංචි කිරීමටයි අපි බලාපොරොත්තු වුණේ. නිවාස ප්‍රශ්නය විසඳීමට පැල්පත්වලින් තොර නගරයක්‌ බවට පත් කිරීමයි අපේ වැඩපිළිවෙළ වුණේ.

 එක අවස්‌ථාවකදී කොළඹ නගරය ලෝකයේ දියුණුවන, සුන්දර නගරවලින් එකක්‌ බවට පත්ව තිබුණා. ඒ තත්ත්වය අද ගිලිහිලා ගිහින්. එදා වික්‌ටෝරියා උද්‍යානය මිනිසුන්ට ඇවිදින්න පුළුවන් සුන්දර ස්‌ථානයක්‌ බවට පත් කළා. නමුත් දැන් ඒවා නඩත්තු වන්නේ නැහැ.

 නගරවාසීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් තැනූ ව්‍යායාම මංතීරු අද විනාශයට පත්වෙලා. මෙය තමයි ඇත්ත. නගරයේ වාසය කරන ජනතාව අද විශාල වශයෙන් අපහසුතාවන්ට පත්වෙලා.

 කොළඹ වරාය නගරය අපි සැලසුම් කළේ ව්‍යාපාර එන විට ඊට සරිලන නගරයක්‌ නිර්මාණය කිරීමේ පරමාර්ථයෙන්. ඒ සඳහායි අපි පියවරෙන් පියවර කටයුතු කළේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එහි ගෞරවය හිමිවිය යුතුයි. මේ එතුමාගේ වැඩපිළිවෙළක්‌. එය අප අමතක නොකළ යුතුයි. ඒ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් නතර වෙලා. කොළඹ නගරය දවසින් දවස පිරිහෙමින් පවතිනවා.

 එක්‌ පැත්තකින් අපේ දරුවන් මත්පැන් හා මත්කුඩුවලට ඇබ්බැහි වෙමින් පවතිනවා. මේ තත්ත්වයන්ට මේ රජය වගකිව යුතුයි. මේ නගරයේ ජීවත්වන සැමට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක්‌ තිබිය යුතුයි. කොළඹ අපේ හදවතයි.

 මෙය තමයි විශාලම ආදායම් ලබන පළාත් සභාව. ඒ වගේම වැඩිම ආදායම් ලබන මහ නගර සභාවත් කොළඹයි. එය අපි අමතක නොකළ යුතුයි. එම නිසා මේ නගරය පිරිසිදු සෞඛ්‍ය සම්පන්න පරිසර හිතකාමී, ජනතා හිතකාමී නගරයක්‌ බවට පත් කිරීමයි අපි බලාපොරොත්තු වුණේ.

 අද මොකද වෙලා තියෙන්නේ. මේවා මෙහෙම විනාශ වෙනවිට ජනතාවට උද්ගත වී ඇත්තේ කුමක්‌ද? අහස උසට ජීවන වියදම ඉහළ ගිහින්. පොල් ගෙඩිය කීයද? එළවළු ඇතුළු අනෙකුත් සියලු අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල අධික ලෙස ඉහළට නැගලා. එක වේලක්‌ කාලා අනෙක්‌ වේල කන්න නොහැකි තත්ත්වයක්‌ උදා වෙලා.

 ආර්ථිකයේ මේ තිබෙන පීඩනයත් සමඟ හොරකම් පවා වැඩිවෙලා. රටේ ආර්ථිකය බිඳ වැටිලා. ජනතාවගේ අතේ මුදල් නෑ. සාප්පුවකට, මාර්කට්‌ එකට ගිහින් බලන්න බඩු දිහා බලලා, එළවළු දිහා බලලා, මිල අහලා හැරිලා යනවා. මේ තත්ත්වය ඇතිවුණේ යහපාලන ආණ්‌ඩුව බලයට පත්ව මේ අවුරුදු කිහිපය තුළයි.

 රටක්‌ තියෙනවාද දන්නේ නෑ. අගමැතිවරයා ඉන්නවද දන්නේ නෑ. ජනාධිපතිවරයා ඉන්නවද දන්නේ නෑ. මහ බැංකුව කොල්ලකාපු එක සම්බන්ධව මේ රටේ ජනතාව හොඳින්ම දන්නවා. එහි ප්‍රතිඵලයි අපි මේ විඳින්නේ.

 අද තිබෙන අලුත්ම තත්ත්වය කොමිසම පත්කර පරීක්‍ෂණ යනකොට අස්‌කිරීමට මාස ගණනක්‌ තියලා තවත් බිලියන 4 යි දශම ගණනකට තට්‌ටුකරලයි ගියේ. හරියට යන යකා කොරහ බිඳගෙන ගියා වගේ.

 රටේ ජනතාවට දුක්‌ විඳීමට වෙලා තියෙන්නේ මේ නිසයි. ණය පොලිය වැඩිවී තිබෙන්නේ මේ නිසා. බඩු මිල ඉහළ ගිහින්. මේවා මෙහෙම වීම නිසයි ජනතාව ඉදිරියට පැමිණ කතා කරන්නේ.

 පාර්ලිමේන්තුව විහිළුවක්‌ වෙලා. අගමැතිවරයා පාසල් යන ශිෂ්‍යයෙක්‌ වගේ කෑ ගහනවා. නටනවා. මේ වගේ අගමැතිවරයෙක්‌ ලෝකේ කොහෙවත් නැතුව ඇති.

 ඒ වගේම තමයි පසුගිය දින කැබිනට්‌ මණ්‌ඩලයේ වූ නාටකය. එහි තිර පිටපත කාගෙද දන්නෙ නෑ. ඒකේ ජනාධිපති එනවා. කෑගහනවා. යනවා. ඊට පැය 1/2 කට පසු ආපසු එනවා. අගමැති යනකොට මලික්‌, රාජිතත් ගිහින් ආපසු එක්‌කර ගෙන එනවා. ඊට පසු බැණ ගන්නේ නැහැ කියලා ගිවිසුමක්‌ ගහනව.

 එක්‌කෙනෙක්‌ කියනවා පික්‌පොකැට්‌ ජනාධිපති කියලා. ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌ කියනවා කැබිනට්‌ මණ්‌ඩලයේ ඉඳීමත් ලැඡ්ජයි කියලා. මාධ්‍යවලින් පේන්නේ මොනවද? අපට හැමදාම මේ විහිළුව බලා ඉඳීමටයි වෙන්නේ. ජනාධිපතිවරයා අනෙක්‌ පාර්ශ්වයට දොස්‌ නඟනවා. ඔවුන් එකිනෙකාට දොස්‌ කියමින් වීරයන් වීමට සූදානම් වෙනවා.

 කැබිනට්‌ එකෙන් නැගිට ගියේ ඇයිද කියා මාධ්‍යකරුවන් ඇසූ විට කියා සිටියේ මොකද්ද?. මේවා කියන්නේ අපහාසයට. ඇමැතිවරු ජනාධිපතිවරයා විහිළුවට ලක්‌ කරලා. රාජිත, මහින්ද සමරසිංහ මේ කරන අපහාස කිරීම් ඔළුව අතගා හිනා වෙවී ටොකු අනිනවා වගේ වැඩක්‌. ජනාධිපතිත් ටොක්‌ක කාගෙන ඉන්නවා. මේ විදියට ඇමැතිවරු ජනාධිපතිව විහිළුවට ලක්‌ කරනවා. මේ තනතුර මේ විදිට හෑල්ලුවට ලක්‌ කළොත් රටත් ජනතාවත් හෑල්ලුවට ලක්‌ වෙනවා.

 පවුඩර් බබාලා, බේබි නෝනලා මේ පළාත් පාලන ආයතනවලට යවලා වැඩක්‌ නෑ. අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන්නේ තරුණ, උගත්, පළපුරුදු, සමාජය පිළිබඳව අවබෝධයක්‌ තිබෙන පිරිසක්‌.

 ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා - 

 ආසියාවේ වැඩිම වේගයකින් දියුණුවට පත්වන කොළඹ අගනගරය මේ තත්ත්වයට ගෙනා නායකයාට කොළඹ ජීවත්වන ජනයා ඉතිහාසයේ පළමු වරට කොළඹ අලියගෙන් ගලවලා පොහොට්‌ටුවට ලබා දෙන්නේ එළඹෙන 10 වැනිදාටයි.

 ජනවාරි 8 වැනිදා හංසයට අහුවෙලා කතිරය ගහපු ජනතාවට දැන් පෙන්වන්නේ කොකා. ආපු ගමන් ජනතාවගෙන් බදුÊගහන්න පටන් ගත්තා. 

 ජීවන වියදම අහස උසට නැඟලා. මේ රටේ තරුණ පරපුර අවමානයට ලක්‌ කරපු, රවටපු ආණ්‌ඩුවට පාඩමක්‌ මෙවර උගන්වන්නේ පොහොට්‌ටුවට ඡන්දය දීලයි.

 අද මෙගා පොලිස්‌ කියාගෙන ආවත් මොන පොලිස්‌ එකක්‌වත් නැහැ. නමුත් ලොරි ටෝක්‌ස්‌ නම් දෙනවා. ජනාධිපතිවරයා අගලවත්තට කාර් එකෙන් යනකොට ගුවන් විදුලියෙන් ඇහුණලු තැබෑරුම්හල් උදේ 8 සිට රාත්‍රි 10 තෙක්‌ විවෘත කරන්නත්, කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමටත් විකිණීමටත් සඳහා වූ ගැසට්‌ නිවේදනය ගැන. එතුමාට මේක ගුවන් විදුලියෙන් අහන්න ලැබුණේ නැත්නම්, ඒ අවස්‌ථාවේ නිදාගෙන හිටියා නම් එතුමා මේ ගැන තාමත් දන්නේ නෑ.

 සිරිකොතේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය  රැස්‌වෙලා තීන්දුවක්‌ ගත්තලු ජනාධිපතිවරයා විවේචනය කිරීම නැවැත්වීමට. සටන් විරාම ගිවිසුමක්‌ ගහලා. ජනාධිපතිවරයා යූ.එන්. පී. විරෝධියෙක්‌ කියලා පෙන්වන්න කඩුව වනනවා. කඩුව කිව්වට කොපුව වනන්නේ.

 පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා - 

 මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ ආසියාවේ පිරිසිදුම නගරය බවට පත් වූ කොළඹ නගර සභාවට අද මොකද වෙලා තියෙන්නේ. 2015 ජනවාරි 8 වැනිදා ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් මහින්ද මහත්තයා පරාජය කරපු නිසා දවසින් දවස මේ කොළඹ නගරය දුකට පත්වුණා. ව්‍යාපාර ලෝකයේ කේJද්‍රස්‌ථානය වන කොළඹ ව්‍යාපාර දවසින් දවස බංකොළොත් වෙන්න ගත්තා. මේ තත්ත්වය වෙනස්‌ කළ හැකි එකම නායකයා මහින්ද රාජපක්‍ෂ මහත්තයයි.

 ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා - 

 මැතිවරණවලට බිය වී එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විවිධාකාර උපක්‍රම යොදමින් මැතිවරණය කල්දාන්න උපරිම උත්සාහ කළා. දැන් මේ ආණ්‌ඩුව වෙනස්‌ කළ යුතුයි. ඒ නිසා මේ මැතිවරණය තවත් පළාත් පාලන මැතිවරණයක්‌ නොවෙයි.

 මෙම අවස්‌ථාවට ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන. පක්‍ෂ නායකයන්වන උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්‌ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්‌ එක්‌වූහ.

No comments:

Latest Video

Powered by Blogger.