නාවික හමුදාව ඉස්සූ දෙදෙනකු ගැන පරීක්ෂණවලට ජනපති තිරිංග.


අගනුවර ආසන්නයේ දී  පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන සැක කෙරෙන නාවික හමුදා ඔත්තු අංශයේ කණ්ඩායමක් පිළිබඳ හෙළි කරගත් තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත්  පරීක්ෂණ පැවැත්වීම ඇණහිට ඇත්තේ ජනාධිපතිවරයා ගේ සෘජු බලපෑම නිසා බව වාර්තා වේ.

වර්තමාන පාලන කාලය තුලදී අලුතින් හෙළිවූ රාජපක්ෂ පාලන සමයේ අතුරුදහන් කිරීම් දෙකක් පිළිබඳ පරික්ෂණ කටයුතු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද දැනුම් දීමක් හේතුවෙන් නවතා දමන්නට තමන්ට සිදුවී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පෙලේ රහස් පරීක්ෂකයෝ දුර්මුඛ වී සිටිති.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් 2016 දී අධිකරණයට දැනුම් දී ඇති පරිදි  කොටහේනේ වඩිවේල් පක්කිලිසාමි ලෝගනාදන් සහ බොරැල්ලේ රත්නසාමි පරමනාදන් දෙදෙනා වැල්ලම්පිටිය බලා වෑන් රියකින් ගමන් කරමින් සිටියදී පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇති බවට සැක කෙරෙන්නේ නාවික හමුදා බුද්ධි අංශ කණ්ඩායමකි.

රහස් පොලිසිය මේතාක් හෙලි කරගත් තොරතුරු අනුව නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් වරයකු ප්‍රමුඛ බුද්ධි අංශ කණ්ඩායමක් විසින් ඔවුන් පැහැරගෙන ගොස් ඇත්තේ  2009 ජනවාරි මස 11වැනි දින ය.

අතුරුදහන් කරනු ලැබූ රත්නසාමි පරමනාදන් ගේ ජංගම දුරකතනය ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ළඟ තිබී පොලිසිය විසින් අධිකරණයට භාරදී තිබේ.

නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි මුල් පෙලේ පොලිස් නිලධාරියකු ජේඩීඑස් හා  ප්‍රකාශ කළ පරිදි ජනාධිපතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අමතා අලුතින් හෙළිවූ එම අතුරුදහන් වීම් පිළිබඳ පරීක්ෂණ තව දුරටත් නොපවත්වන ලෙස දැනුම් දී ඇත්තේ නාවීක හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානි ආනන්ද ගුරුගේ විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හරහා ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ය.

'මුං කැරලි ගහයි'

හිටපු නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අපරාධ සම්බන්ධයෙන් සැකකෙරෙන නාවික හමුදා නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් අත්අඩංගුවට ගනු ලැබුවහොත් එමඟින් බුද්ධි අංශ කැළඹිමට පත් විය හැකි බවයි.

“ජනාධිපති කියලා තියෙන්නේ ඔය විදිහට හමුදාවේ අයව අල්ලන්න ගියොත් මම කොහොමද ඡන්ද කරන්නේ,  මුං ඔක්කොම මට විරුද්ධව කැරලි ගහයි කියලයි,” යනුවෙන් ජේඩීඑස් හා දුරකතනයෙන් කතා කළ පොලිස් නිලධාරියා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කය තුලදී පුද්ගලයන් එකොලොස් දෙනකු 2008-2009 වකවානුවේ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳව සැක පිට රහස් පොලිසිය විසින් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් අට දෙනකු අතරින් හතක් ඇප ලබා නිදහස්ව සිටිති.

උසාවිය මගහැර සිටින තවත් සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අත් අඩංගුවට ගැනීම පිණිස ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇත.

ලෝගනාදන් සහ පරමානන්දන්ගේ අතුරුදහන් වීම ගැන තොරතුරු CID ය විසින් හෙළි කරගෙන ඇත්තේ අතුරුදහන් 11 දෙනාගෙන් අයකු වන කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීඩ් පැහැරගන්නා ලද අවස්ථාවේ ගමන් කරමින් සිටි වාහනය සොයා යාමේදී ය. 

වෑන් කෑලි 72ක්

වෑන් රථය සඟවා ඇතැයි ලැබුනු ඔත්තුවකට අනුව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් වැලිසර නාවික නෞකා ගැමුණු කඳවුරේ බුද්ධි නිලධාරින්ගේ නිවස්න පිහිටි ප්‍රදේශය 2016 පෙබරවාරි මාසයේදී පරීක්ෂාවට ලක් කිරීමේදී කොටස් 72 කට කැබලි කොට සඟවා තිබූ වෙනත් වෑන් රියක කොටස් හමුවී තිබේ.

PA 0023 අංකය දරන එම වාහනයේ හිමිකරු වැල්ලම්පිටියේ දී අතුරුදහන් වූ වඩිවේල් පක්කිලිසාමි ලෝගනාදන් ය.

ලෝගනාදන්ගේ බිරිඳ වන රාජගෝපල් චිත්‍රාදේවී විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශයකට අනුව ඇගේ ස්වාමි පුරුෂයා සහ ඥාති සහෝදරයකු වන කොළඹ නගර සභාවේ සේවය කළ රත්නසාමි පරමනාදන් යන දෙදෙනා අදාළ වෑන් රථයෙන් 2009 ජනවාරි 11 දින වැල්ලම්පිටිය ප්‍රදේශය බලා යාමෙන් පසු ආපසු පැමිණ නැත.

ඇය සහ පරමනාදන්ගේ බිරිඳ වන පවුලින් මේරි ඇග්නස් පොලිසියට පැමිණිලි කොට අවුරුදු එකහමාරකට වැඩි කලක් ගතවීත් පලක් නොවූ තැන තම ස්වාමි පුරුෂයන් අතුරුදහන් වීම ගැන 2010 ජූලි මාසයේ පොලිස්පති වරයාට පැමිණිලි කොට තිබේ.

කෙසේ වෙතත්, පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය විසින් රහස් පොලිසියට දැනුම් දී ඇත්තේ 2010 නොවැම්බර් 15 දා යින් පසු කිසිදු විමර්ශනයක් පවත්වා නැති බවයි.

රාජපක්ෂ පාලන සමයේ අතුරුදහන් කිරීමක් පිළිබඳව නැවත පරීක්ෂණ ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විසින් බාධා කිරීමට අමතරව පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන්ට එරෙහිව පවතින නඩු සඳහා අවශ්‍ය කරන සාක්ෂි සහ තොරතුරු හමුදා ප්‍රධානීන් විසින් ලබා දීම පැහැර හරිනුයේද ඉහළ පෙලේ දේශපාලන මැදිහත්වීමක් හේතුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශ්වාසයයි.

බාධා කළ බව ජනපති පිළිගනී

රජයේ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද බවට චෝදනා කෙරෙන අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කිරීම වැලැක්වීමට තමන් මැදිහත් වූ බව ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු චූදිතයන්ට නඩු පවරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී තිබුනත්,  “අහක යන නඩු” නොදමන ලෙස තමන් නිර්දේශ කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය සතියේ ජනමාධ්‍ය  ආයතන ප්‍රධානීන්ට  හෙළිකර තිබුනි.

පොලිස්පතිවරයා විසින් නීතිපති උපදෙස් ක්‍රියාත්මක නොකර ලිපිගොනු ලබාදී ඇත්තේ ජනාධිපති අතට ය.

නීතිපති නිර්දේශය ක්‍රියාවේ යෙදවීම වෙනුවට ජනාධිපතිවරයා කර ඇත්තේ ඒ  සම්බන්ධයෙන් වෙනත් නීතිඥයන්ගෙන් විමසා බලන ලෙස අගමැතිවරයාට “බොහොම පැහැදිලිව අවස්ථා ගණනාවකම” කියා සිටීමයි.

“නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඔක්කොම ෆයිල් ආවා පොලිස්පති තුමාට නඩු පවරන්න. ඒ අතරේ හොඳ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කිහිප දෙනෙක් බලලා, ඒ අයට නැවත බලන්න දෙන්න මේ නඩු ප්‍රතිපල දයකද අහක යනවද, මේවයේ මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා එහෙම නැතිනම් අහක යන නඩු නම් දාන්න එපා කියලා,” යි  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියා සිටියේය.

ජනාධිපති බලධාරියා නොවේ

නීතිපති උපදෙස් ලැබී තිබියදී නීතිමය ක්‍රියාමාර්ග නොගෙන තවත් කල් යැවීමෙන් ජනාධිපතිවරයා කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවක් බවට මානව හිමිකම් ක්ෂේත්‍රයේ නීතිඥ වරුන්ගේ බරපතල දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

ජනාධිපතිගේ නියෝගය පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ස්වාධීන ලෙස පරීක්ෂණ පවත්වාගෙන යාම දේශපාලන බලය යොදවා අවහිර කිරීමේ අවශ්‍යතාවක් රටේ පාලකයන්ට ඇති බව යැයි ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ අවධාරණය කරයි.

“නීතිපති කියන්නේ ආණ්ඩුවේ නෙමෙයි රජයේ නඩු පවරන්නා, අපරාධ නඩු පැවරීම ගැන සම්පූර්ණ බලතල තියෙන්නේ නීතිපතිවරයාට,” යයි මානව හිමිකම් නීතිඥ කුමාරගේ ජේඩීඑස් හා කියා සිටියේය.  “යම් අපරාධ නඩුවක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වලා නඩු පවරන්න නිර්දේශ කරලා නීතිපතිවරයා දෙන නියෝගයක් ආයේ බාහිර නිතිඥවරුන් යොදලා පරික්ෂා කිරිමේ ක්‍රමවේදයක් නෑ.”

ලිපිගොනු ජනාධිපතිවරයාට දීමෙන්  පොලිස්පති පූජිත ජයසුන්දර විසින්ද කර ඇත්තේ වැරද්දක් බව  චන්ද්‍රපාල කුමාරගේ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“පොලිස්පතිවරයා කොහොමද යම් නඩු පැවරුමක් ගැන නීතිපති දෙන නිර්දේශයක් හරි නියෝගයක් හරි තියෙන ලිපි ගොනුවක් ජනාධිපතිවරයට යොමු කරන්නේ. නඩු පවරන බලධාරියා ජනාධිපති නෙමෙයි.”

අගමැති රනිල් වික්‍රමසිංහ වෙනත් නීතිඥවරුන්ගේ නිර්දේශ ලබාගැනීමට කිසිදු පියවරක් නොගත් බව‍ට චෝදනා කළ ජනාධිපතිවරයා තමන් ඒ සම්බන්ධයෙන් නැවත විමසීමක් කළේ දැයි පැහැදිලි කළේ නැත.

ජනාධිපති බලතල සීමා කර කොමිසන් සභා ස්ථාපිත කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් අනතුරුව රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ස්වාධීන වී ඇති බව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් මහත් උද්දාමයෙන් යුතුව ප්‍රකාශ කරන්නකි.

© JDS

No comments:

Latest Video

Powered by Blogger.