2018 වසරේ වරාය අධිකාරිය සම්මානය, ශ්‍රී ලංකාවට.


"ග්ලෝබල් පෝර්ට් ෆෝරම්" මගින් සිවුවැනි වරට පවත්වන ලද සම්මාන උළෙලේ "‘2018 වසරේ වරාය අධිකාරිය" සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් විය.

පසුගියදා ඩුබායිහි ග්‍රෑන්ඩ් හයාට් (Grand Hyatt) හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් ප්‍රධාන කළමනාකරු (අලෙවි හා ව්‍යාපාර ප්‍රවර්ධන) උපුල් ජයතිස්ස සහ ප්‍රධාන කළමනාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) නලින් අපොන්සු යන මහත්වරුන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ සබඳතා හා ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශයේ, ආර්ථික සහ වෙළෙඳ සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා මූනා අල් මැයිනි මහත්මියගේ සුරතින් මෙම සම්මානය ලබා ගන්නා ලදී.

වරාය උපාය මාර්ගික සැලැසුම් සහ වරාය සංවර්ධනය, වරාය ස්වයංක්‍රීයකරණය, වරාය මූල්‍යකරණය සහ මෙහෙයුම් ඵලදායීතාව පිළිබඳ සාකච්ඡා ඇතුළත් දෙදිනක විශේෂ සම්මේලනයක්ද පසුගිය 21 වැනිදා සිට මෙම සම්මාන උළෙලට සමගාමීව පැවැත්විණි.

2008 වසරේ සිංගප්පූරුවේ කොස්මොපොලිටන් ග්ලෝබල් පෝර්ට්හිදී ව්‍යාපාරිකමය අරමුණු මුල්කර ගනිමින් ආරම්භ කරන ලද ලෝක වරාය සැසිය (Global Ports Forum - GPF) මගින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. එහිදී සාමාජික වරායන්ගේ ක්‍රියාකාරීත්වය හා එහි ඉදිරි සංවර්ධන දායකත්වය පිළිබඳ නිරන්තර සැලකිල්ලට ගනු ලැබේ.

මෙවර සම්මාන උළෙලේදී ප්‍රශස්ත දායකත්වය හා වෘත්තීයමය ස්වභාවයෙන් යුතුව කටයුතු කරන වෙසෙස් ප්‍රදේශවල වරාය සහ පර්යන්ත පිළිබඳ සහ ඒවායේ සාර්ථකත්වය ළඟාකර ගැනීම පිළිබඳ අවධානයට සහ ඇගැයුමට ලක්කරමින් ක්‍ෂේත්‍ර ගණනාවක් යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදුකෙරිණි.

කොළඹ වරායේ "SAGT" පර්යන්තය දකුණු ආසියාවේ විශිෂ්ටතම පර්යන්තය ලෙස පසුගිය වසරේදී සම්මානයට පාත්‍ර වූ අතර, අඛණ්ඩ ලෙස මෙවරත් එම සම්මානයට හිමිකම් කියනු ලැබිණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ කොළඹ වරායේ මේසා සුවිසල් විජයග්‍රහණයෙහිලා වත්මන් රජයේ වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ විශිෂ්ට නායකත්වයත්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ නිසි මගපෙන්වීම හා කළමනාකාරීත්වයත්, වරාය මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධ සියලුම පර්ශ්වයන්ගේ දායකත්වය හා වෘත්තීය සමිති මෙන්ම සමස්ත වරාය සේවක මහත්ම මහත්මීන් අතර පැවැති සහසම්බන්ධතාව ඉතා ප්‍රශස්ත ලෙස වර්ධනය වී තිබීමද තුළින් මෙවන් ජයග්‍රහණයක් කරා ළඟා වීමට හේතු වී තිබේ.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කර ඇති අතර, එමගින් ඉදිරි කාලය තුළදී සංවර්ධන කටයුතු වඩාත් වේගවත්ව ඉදිරියට ගෙන යෑමටත්, ඒ තුළින් බහලු මෙහෙයුම් තවදුරටත් ඉහළ නංවමින් කොළඹ වරාය ආසියාවේ කේන්ද්‍රීය වරාය බවට කිරීමටත් අපේක්‍ෂිතය.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.