අගමැති ඉවත් කරන්න බාධාවක් නැතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.


සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුමට ඇතුළත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එක් පක්ෂයක් ඉවත් වුවහොත් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම පිළිබඳව කිසිදු ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් මතු වන්නේ නැතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.

ඒ එසේ එක් සාමාජික පක්ෂයක් ගිවිසුමෙන් ඉවත් වුවහොත් සම්මුතිවාදී ආණ්ඩුවක් ක්‍රියාත්මක නොවන බැවිනි.

එසේම සම්මුතිවාදී ආණ්ඩුවක් පවත්වාගෙන යෑම සඳහා එ.ජා.ප.-එ.ජ.නි.ස. අතර ගිවිසුම අස්සන් කළේ වසර දෙකක කාලයකට පමණක් බැවිනුත් එම ගිවිසුම යළි අලුත් කර නැති නිසා මේ වන විට ගිවිසුම බල රහිත වී තිබෙන බවත් එවැනි තත්ත්වයක් යටතේ තවදුරටත් සම්මුතිවාදී ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට නීතිමය බලයක් නැති නිසා ජනාධිපතිවරයා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම බවත් නීති විශාරදයෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට බලයක් නැති බවට ඉදිරිපත් වන තර්ක ගැන මේ නීති විශාරදයන් ව්‍යවස්ථාමය වශයෙන් කරුණු දක්වන්නේ මෙසේය.

ව්‍යවස්ථාවේ 42(4) සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබිය යුත්තේය.

අමාත්‍යවරුන් හා ඔවුන්ගේ විෂයය පිළිබඳව ව්‍යවස්ථාවේ 43 (1) මෙසේයි.

අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස්ද විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාවද, අමාත්‍ය සංඛ්‍යාවද, අමාත්‍යවරුන්ට පවරන විෂය හා කාර්යය නිශ්චය කළ යුත්තේය.

43 (2) ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරින් අමාත්‍යවරු පත් කළ යුත්තේය. නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කළ විට ඉහත 43 (1) වගන්තියේ කරුණ සඳහා අදහස් විමසීමක් ජනාධිපතිට අවශ්‍ය නම් පමණක් කළ හැකිය.

43 (2)දී නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ කුමන මන්ත්‍රිවරුන්ට දෙන්නේද යන වග අගමැතිගෙන් විමසීමක් කළ හැකිය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් හිමිව නැත.

එ.ජා.ප. සහ එ.ජ.නි.ස. කොටසක් එකතුව පවත්වාගෙන ගිය සම්මුතිවාදී ජාතික ආණ්ඩුව වසර දෙකක කාලය නිම වී ඇත.

මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුව ඇති බරපතළම හා දූෂිතම ගනුදෙනුව වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, දූෂිතයන් ආරක්ෂා කිරීම සහ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළකාලීම යන සාපරාධී ක්‍රියාවන්ට වගකිවයුතු මූලිකම තැනැත්තා අග්‍රාමාත්‍යවරයා බව ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිදරව් වූ කරුණු අනුව කිසිදු සැකයකින් තොරව ඔප්පු වී ඇති හෙයින් එවැනි තැනැත්තකු අග්‍රාමාත්‍ය ධුරයෙහි තබා ගැනීම මඟින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (2) වගන්තියේ සඳහන් පරිදි චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදක් ලෙස අර්ථ නිරූපණය කිරීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකිය.

මේ ව්‍යවස්ථාමය තත්ත්වය යටතේ කටයුතු නොකළහොත් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ ඉඩකඩ බැහැර කළ නොහැකි බවද එම නීති විශාරදයෝ පෙන්වා දෙති.

(Mawbima)

No comments:

Latest Video

Powered by Blogger.