අගමැති ඉවත් කළ හැක්කේ "විශ්වාස භංගයකින්" පමණයි?

පෙබරවාරි 10 වෙනි දින පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී පාලක සන්ධානයට බරපතල පරාජයක් අත්වීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරය වී තිබේ.
එහෙත් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා පවසන්නේ තමන් රටේ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාකරන බවය.
මේ තත්වය යටතේ ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත්කළ හැකි ද යන්න සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර නීති තර්ක මතුවෙමින් පවතී.
ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක කියා සිටියේ, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව අගමැතිවරයා පත්කිරීමට විනා ඔහු ඉවත්කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවය.
එහෙත් එයට විරුද්ධ තර්කයක් මතුකරන ජ්‍යෙෂ්ඨ නීතිවේදී කල්‍යානන්ද තිරාණගම, අගමැතිවරයා ඉවත්කිරීමට ජනපතිට බලය තිබෙන බව බීබීසී සිංහල සේවයට පැවසීය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 46 (1) වගන්තිය
Image caption19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 46 (1) වගන්තිය
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 46 (2) වගන්තිය
Image caption19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 46 (2) වගන්තිය

19 වෙනි සංශෝධනයේ 46 (2) වගන්තිය මගින් ඊට පෙරාතුව ජනාධිපතිවරයා සතුව තිබුණු අගමැතිවරයා ඉවත්කිරීමේ බලය අහෝසි කරනු ලැබ ඇති බව පවසන නීතිඥ ලාල් විජේනායක, අගමැතිවරයා පත්කිරීමෙන් අනතුරුව ඔහුගේ අනාගතය රඳා පවතින්නේ පාර්ලිමේන්තුව මත බව ද සඳහන් කළේය.
"පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගන්න පුළුවන් තාක් කල් ඔහුට අගමැති හැටියට ඉන්න පුළුවන්. ඒක වෙනස් කරන්න නම් තියෙන්නේ පාර්ලිමේන්තුවේ අගමැතිට විශ්වාසය නැතෙයි කියල යෝජනාවක් සම්මත කිරීම පමණයි."
තවත් කියවන්න:
කෙසේ වුවත් "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා" අගමැති පදවියට පත්කළ යුතු බවට 42 (4) වගන්තියේ මගින් දක්වා තිබෙන තත්වය, පළාත් පලාන මැතිවරණයෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහට අදාළව මේ වන විට වෙනස් වී තිබෙන්නේය යන්න නීතිවේදී කල්‍යානන්ද තිරාණගමගේ තර්කය වී තිබේ.
"දැන් ජනාධිපතිට තර්ක කරන්න පුළුවන් මේ වෙලාවේ, රටේ බහුතර මහජනතාව විසින් ඉන්න අගමැති ප්‍රතික්ෂේප කරලා තියෙනව කියල. ඒ වගේම අගමැතිතුමාට සහාය දීපු පිරිස් අතරින්ම මතයක් මතුවෙනව අගමැතිතුමා යා යුතුයි කියල. ඒ නිසා ජනාධිපතිතුමාට සැකයක් ඇතිවෙනවා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය අගමැතිතුමාට තියෙනවද කියල."
පළාත් පාලන මැතිවරණය යනු මහ මැතිවරණයක් නොවන බැවින් එවැනි තර්කයක් මතුකරන්නේ කෙසේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් නීතිවේදී තිරාණගම කියා සිටියේ, අගමැතිවරයා පළාත් පාලන මැතිවරණයේදී ප්‍රචාරක ව්‍යාපාරයේ නිරත වූයේ පළාත් පාලනයට අදාළ කරුණු සම්බන්ධයෙන් නොව ජාතික ප්‍රතිපත්ති පිළිබඳව බවය.
එබැවින් වත්මන් වාතාවරණය යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බලය තිබෙන බව ඔහුගේ අදහසය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 48 (1) වගන්තිය
Image caption19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 48 (1) වගන්තිය

එහෙත් නීතිඥ ලාල් විජේනායක ඒ තර්කය තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඕනෑම ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ජනතාව ලබා දෙන පණිවුඩය වටහාගත යුතු නමුත් පළාත් පාලන මැතිවරණයක ප්‍රතිඵලය හේතුවෙන් රටක ආණ්ඩුවක් වෙනස් කිරීම සඳහා කිසිදු "දේශපාලන හේතුවක්" තමන්ට නොපෙනෙන බව ඔහුගේ විග්‍රහය වී තිබේ.
විශේෂයෙන්ම ඉන්දියාවේ පසුගියදා පැවති ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළේ ඉතා අසීරුවෙන් බව උදාහරණයක් ලෙසින් ඔහු පෙන්වා දුන්නේය.
"එතන ඇතිවුණේ ඉන්දියාවේ අගමැතිට පරාජයක් කියල කවුරුත් පිළිගන්නවා. නමුත් එහෙම වුනා කියල ආණ්ඩුව වෙනස් වෙන්නේ නෑනේ රටේ."
හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් සිල්වා ද පෙන්වා දී තිබෙන පරිදි වසර දෙකක කාලයක් සඳහා බලයට පැමිණි ජාතික ආණ්ඩුවේ කාලය අවසාන වී තිබෙන බැවින් අනූවකට ආසන්න වත්මන් ඇමතිවරුන්ගේ ධුර කාලය ද ඒ සමගම අහෝසිවන බව නීතිවේදී කල්‍යානන්ද තිරාණගම මතුකරන තවත් තර්කයකි. එසේ වන්නේ නම්, ඒ සමගම අගමැතිවරයාගේ ද ධුර කාලය අහෝසි වනු ඇත.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර අමාත්‍ය මණ්ඩලය තිහකට නොවැඩි විය යුතු අතර, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිස ද හතළිහකට නොවැඩි විය යුතුය.
"දැන් මේ පවතින කැබිනට් මණ්ඩලය, නීති විරෝධී කැබිනට් මණ්ඩලයක්. එවැනි තත්වයක් යටතේ මේ කැබිනට් මණ්ඩලය විසිරී ගියා සේ සලකන්න ජනාධිපතිතුමාට පුළුවන්," නීතිවේදී කල්‍යානන්ද තිරාණගම පවසයි.
පළාත් පාලන මැතිවරණය
Image captionපළාත් පාලන මැතිවරණයක ප්‍රතිඵලය හේතුවෙන් රටක ආණ්ඩුවක් වෙනස් විය යුතුද?
අගමැති රනිල් වික්‍රමසිංහ සමග තවදුරටත් කටයුතු කළ නොහැකි බව පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ජනාධිපතිවරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබුණි.
අගමැතිවරයාගෙන් විමසීමක් නොකර කැබිනට් මණ්ඩලය පහ කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බව ද නීතිඥ ලාල් විජේනායක මේ අතර පෙන්වා දෙයි.
මහ මැතිවරණයකින් අනතුරුව වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් යෝජනාවක් සම්මත විය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර අගමැතිවරයා ඉවත්කළ නොහැකි බව සඳහන් 46 (2) වගන්තියට පරස්පර තත්වයක් 48 (1) වගන්තියේ සඳහන් වන බව නීතිවේදී තිරාණගම පෙන්වා දුන්නේය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 42 (1) සහ 43 (1) වගන්ති
Image caption19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 42 (1) සහ 43 (1) වගන්ති

"ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අගමැතිවරයා ධුරය දැරීම නතර වූ විට," යනුවෙන් වගන්තියක් 48 (1) කොටසට ඇතුළත් වේ.
"ඒ කියන්නේ මේකේ හැටියට ජනාධිපතිට ඉවත් කිරීමේ බලය තියෙනවා," නීතිවේදී තිරාණගම වැඩිදුරටත් පැවසීය.
මේ අනුව අගමැතිවරයා ඉවත් කළ හැකිද? නැද්ද? යන්න සම්බන්ධයෙන් පැහැදිලිවම නීති ක්ෂේත්‍රයේ පරස්පර මත දෙකක් පවතින අතර, මතු වී තිබෙන අර්බුදය පිළිබඳව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සැරසෙන බවට තොරතුරු පැතිර යමින් තිබේ.
(BBC සිංහල)

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.