“දූෂණ විරෝධී මෛත්‍රී” දූෂණ වසා දැමූ හැටි.


2015 ජනවාරි මස 08 වැනි දින මැතිවරණයෙන් පසු බිහි වූ යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළේ ප‍්‍රමුඛතම කාර්යභාරය වූයේ මැතිවරණයට පෙර සමාජය තුළ ඉහළින් ම සාකච්ඡා වූ දූෂණය සහ වංචාවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ඉටු කිරීමයි. මෙම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටුවමින්, එම කොට්ඨාසය මඟින් විමර්ශනය කරන පැමිණිලි භාර ගැනීම සහ ඊට අදාළ මූලික කටයුතු වෙනුවෙන් ‘දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය’ පිහිටුවීමත් සිදු විය.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් භාර ගනු ලබන පැමිණිලි පිළිබඳ මූලික විශ්ලේෂණාත්මක වාර්තාවක් පිළියෙළ කර එය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට යොමු කර ඒ පිළිබඳව පරීක්‍ෂා කර ඔහු නිර්දේශ කරන්නේ නම්, පමණක් අදාළ විමර්ශන ආයතනවලට යොමු කිරීම මෙම කාර්යාලයේ වගකීම විය. ඒ අනුව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයටත්, අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවටත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන ආයතනවලටත් යොමු කරනු ලැබී ය.

මෙහි සුවිශේෂීත්වය වූයේ පසුගිය රජයේ බලධාරීන්ට අදාළ පැමිණිලි මෙන් ම වර්තමාන රජයේ බලධාරීන්ට ද එරෙහිව මෙම ලේකම් කාර්යාලයට පැමිණිලි ලැබීමත්, එම පැමිණිලි පක්‍ෂ භේදයකින් තොරව විමර්ශන ආයතනවලට යොමු කිරීමත් ය. ඒ අනුව පසුගිය රජයේ බලධාරීන් වන මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ වංචා පිළිබඳ පැමිණිලි මෙන් ම, එම රජයේ මැති ඇමතිවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල යන අයට එරෙහිව පැමිණිලි සිය ගණන් ලැබී තිබිණි. එසේ ම මෙම රජයේ මැති ඇමතිවරුන් වූ අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, රවී කරුණානායක, චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු පිරිසට අදාළ පැමිණිලි ද ඉදිරිපත්ව තිබිණි. මෙම සියලු පැමිණිලි විමර්ශන ආයතනවලට යොමු වීමෙන් පසු විමර්ශන ආරම්භ වීම රජයට ගැටලුවක් විය. පැවැති රජයේ සහ පවතින රජයේ හොරුන් ආරක්‍ෂා කිරීම සඳහා කළ යුතු එක ම රාජකාරිය ඉන් අනතුරුව සිදු කරන ලද්දේ කවුරුන් ද? අද දූෂණයට එරෙහිව කඩුව අමෝරාගෙන සිටින බවට වේදිකාවේ මොර දෙන මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් මිස අන් කවරෙක් ද?

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබුණේ එය තමන්ට අවශ්‍ය අවස්ථාවක වසා දැමීම සඳහා පහසු ආකාරයකට ය. ස්ථිර කාර්යාලයක් ලෙස ආරම්භ නොකළ එම කාර්යාලය මාස හයකට පසු අමාත්‍ය මණ්ඩලය මඟින් කාලය දීර්ඝ කරන ලද අතර, ඉන් පසු සෑම මාස හයකට වරක් ම එහි කාලය දීර්ඝ කර තිබිණි.

එම උපන් ගෙයි දෝෂය ම භාවිතයට ගනිමින්, පැවැති ආණ්ඩුවේ පැමිණිලිවලට අමතරව යහපාලන ආණ්ඩුවේ පැමිණිලි ද ඉදිරියට එත් ම ආණ්ඩු දෙකේ ම හොරුන් ආරක්‍ෂා කිරීම සඳහා එම හොරුන් කොට්ඨාස දෙකෙන් ම සැදුම්ලත් යහපාලන ආණ්ඩුව ඔවුන්ට අවශ්‍ය ම වූ පියවර ගන්නා ලදී.

ඒ අනුව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට එරෙහිව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ දී අවලාද රැසක් නඟා තිබූ බවට වාර්තා විය. ඉන් එක් අවලාදයක් වූයේ මෙම කාර්යාලය මඟින් හාල්මැස්සන් ඇල්ලීම මිස තෝරුන්, මෝරුන් අල්ලා නැති බවයි. මෙවැනි අවලාදයක් ගොඩනඟනු ලැබුවේ අද දින වනවිට සමාජය තුළ මහත් අවධානයට ලක් වී ඇති ඇවන්ට්ගාඩ් ගනුදෙනුව, මිග් යානා මිල දී ගැනීමේ ගනුදෙනුව, ගිං, නිල්වලා ගනුදෙනුව, බැසිල් රාජපක්‍ෂගේ මල්වානේ ඉඩම් ගනුදෙනුව, විමල් වීරවංශගේ හෝකන්දර ඉඩම් ගනුදෙනුව සහ රජයේ නිවාස අයථා ලෙස පැවරීමට අදාළ ගනුදෙනුව ඇතුළු මහා පරිමාණ පැමිණිලි ගණනාවක් මෙම කාර්යාලයෙන් නිකුත් වී විමර්ශන ආයතනවල විමර්ශනය වෙමින් තිබිය දී සහ ඊට අදාළ නීති ක්‍රියාමාර්ග ගනිමින් තිබිය දී වීම විශේෂත්වයකි. අද එම ගනුදෙනු ඇතුළත් විමර්ශන වාර්තා වේදිකාවට ගෙන දූෂිතයන්ට එරෙහිව කඩුව වනන බව කියන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ජුගුප්සාජනක වේ.

තවත් අවලාදයක් වූයේ ෆවුසි ඇමතිවරයාට එරෙහිව වාහන අවභාවිතාවක් පිළිබඳ පැමිණිල්ල පමණක් මෙම කාර්යාලය විසින් ක්‍රියාවට නඟා ඇති බවයි. මෙම කාර්යාලයට එවන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පසුව අනාවරණය විය.

ජනාධිපතිගේ අවලාද මාධ්‍යයට නිකුත් කිරීමේ කාර්යභාරය ඉටු කළ ඇමති, රාජිත සේනාරත්න කීවේ ඊට නොදෙවැනි අසත්‍ය අවලාද බව පසුව හෙළිදරවු විය. ජනාධිපතිවරයාගේ අවලාදවලට නොදෙවැනි අවලාදයන් ගොඩනැඟූ රාජිත ප‍්‍රකාශ කළේ මෙම කාර්යාලය නඩත්තු කිරීමට මාසයකට රුපියල් මිලියන 12ක් වැය වූ බවත්, එතරම් මුදලක් වියදම් කර ලබා ගත් ප‍්‍රතිඵලයක් ද නොමැති බවත් ය. මෙම කාර්යාලයට අදාළව අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් සිදු කළ වියදම් පිළිබඳව ලැබී ඇති තොරතුරු අනුව මෙම ප‍්‍රකාශය ඉතා ම සාහසික ප‍්‍රකාශයක් බව පැහැදිලි ය.

දූෂණ මර්දන කමිටු කාර්යාලයේ වියදම් සම්බන්ධව අග‍්‍රාමාත්‍ය කාර්යාලය කළ වියදම් අනුව එහි මාසික වියදම රුපියල් ලක්‍ෂ 24කට ආසන්න වේ. එනම් මාසිකව රුපියල් මිලියන 2.4කි. රාජිත සේනාරත්න ඇමතිවරයා මෙම මුදලට තවත් මිලියන 10ක් එකතු කර මාසික වියදම රුපියල් මිලියන 12ක් ලෙස සඳහන් කරනු ලැබුවේ වැරැදීමකින් නොව මෙම කාර්යාලය වසා දැමීම සාධාරණීයකරණය කිරීම සඳහා ය. මෙහි දී මෛත්‍රී – රනිල් රජය මාසිකව රුපියල් ලක්‍ෂ 24ක වියදමකින් පවත්වාගෙන ගිය දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එලෙස අවලාද සහ අසත්‍ය කරුණු මත වසා දමනුයේ, එම මුදල මෙන් දස ගුණයක වියදමක් එනම්, මාසිකව රුපියල් දෙකෝටි දශලක්‍ෂයක් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාස ගණනාවක් නිරපරාදේ කුලී ගෙවමිනි. මෙම කාර්යාලය වසා දැමීමෙන් වඩාත් සතුටට පත් වූයේ, මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ එම රජයේ දූෂිතයන් වන අතර, රනිල් – මෛත්‍රී රජයේ දූෂිතයෝ ද අපමණ සතුටක් ලැබූහ. වසා දැමූ කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කර එහි අගමැති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයක් පිහිටුවන ලදී. එහි ප‍්‍රධානියා ලෙස මහින්ද රාජපක්‍ෂගේ සිල් රෙදි බෙදීම සාධාරණීයකරණය කළ හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, ජිනසිරි දඩල්ලගේ පත් කරනුයේ, දූෂණ පිළිබඳව මෙම කාර්යාලයට පැමිණිලි කළ සියල්ලන්ට ම අතුල් පහරක් ගසමිනි.

පළාත් පාලන මැතිවරණයේ දී සිදු වන නිසැක පසුබෑම දැක දූෂණයට විරුද්ධව ව්‍යාජ රංගනයක යෙදෙන මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සටන් පාඨ අතර, ඔහුගේ කොමිෂන් සභා වාර්තා මුල් තැනක් ගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සමාජය තුළ ඉස්මතු කරන ලද බැඳුම්කර වංචාව එක් සටන් පාඨයක් කරගෙන තිබේ. අනෙක් සටන් පාඨය වනුයේ, වංචා, දූෂණයන්ට සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවයි. මෙම වාර්තාව පරීක්‍ෂා කිරීමේ දී එය තුළ ඇතුළත් වංචා සහ දූෂණ ඊට ප‍්‍රථම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබී එම කාර්යාලය විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ අනෙකුත් විමර්ශන ආයතනවලට යොමු කළ ඒවා ය. එසේ ම නීතිමය පියවර ගැනීම ආරම්භ කිරීමෙන් පසුව රජයේ ඉහළ ම බලවතුන් විසින් යටපත් කරන ලද දූෂණ, වංචා එයට ඇතුළත් වෙයි. උදාහරණ ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ ඇතුළත් ඇවන්ට්ගාඩ් ගනුදෙනුව, විමල් වීරවංශගේ නිවාස පැවරීමේ ගනුදෙනුව, මහින්දානන්ද අලුත්ගමගේගේ නාවලපිටිය දුම්රිය දෙපාර්තමේන්තු ඉඩමට අදාළ ගනුදෙනුව ආදිය දැක්විය හැකි ය.

මෙම ගනුදෙනු ඇතුළු වංචා 34ක් පිළිබඳව මහත් උජාරුවෙන් කතා කරන ජනාධිපතිවරයාගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයක් තිබේ. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තම ධුර කාලය තුළ මහා පරිමාණ දූෂණවලට අදාළ පැමිණිලි 400කට අධික ප‍්‍රමාණයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් කොමිසම හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබිණි. මෙම පැමිණිලිවලට සිදු වූයේ කුමක් ද?

තමන් විසින් දූෂිතයන් ආරක්‍ෂා කිරීම සඳහා වසා දමනු ලැබූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් විමර්ශන ආයතනවලට යොමු කළ පැමිණිලි යටපත් කොට වේදිකාවේ සහ ජනමාධ්‍ය ඉදිරියේ දූෂණයට එරෙහිව මොර දීම තරම් දේශපාලන තක්කඩිකමක් තවත් තිබිය නොහැකි ය. ඒ නිසා පෙබරවාරි 10 වැනි දින මැතිවරණය ඉලක්ක කර ගනිමින්, තක්කඩියකු වීරයකු වීමට උත්සාහ දැරීම හැර දූෂණ, වංචාවලට එරෙහිව සැබෑ පියවරක් ජනාධිපති මෛත්‍රී විසින් ගනු ඇතැයි සිතීම ම මුළාවකි.

(ලංකා ඉරිදා සංග්‍රහය)

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.