ඇමති මණ්ඩලයට අලුත් මුහුණු : ආර්ථික හා කෘෂිකාර්මික ජනපති යටතට.


පසුගිය පලාත් පාලන මැතිවරණයේදී සිය ආසන ජයග්‍රහණය කරමින් ජනතා ගෞරවය හිමිකර ගත් තරුණ මන්ත්‍රීවරුන්ට මෙවර නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබාදීම කෙරෙහිද අග්‍රමාත්‍යවරයාගේ අවධානය යොමුවී ඇත.

ඒ අතරම පසුගිය කාලයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තුවේදී ඉතාම අසාර්ථක වූ අමාත්‍යවරුන්ට කැබිනට් අමාත්‍ය ධූරය ලබා නොදීමටද ඒ මහතාගේ අවධානය යොමුව ඇත.

මේ අතර අලුත් ආණ්ඩුවක් සෑදීමට කුමන්ත්‍රණය කරන තිලංග සුමතිපාල මහතාටද කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙන බවට ඒ මහතා ඔහුගේ මිතුරන් සමග පවසා ඇතැයි වාර්තාවේ.

කෙසේ වුවද අරගලයේ නියුතු අනෙක් ඇමතිවරුන්ට තිබූ අමාත්‍යධූරද අහිමි වනු ඇතැයි එජාප ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ආර්ථික හා කෘෂිකාර්මික විෂයයන් ජනපති යටතට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැබිනට් සංශෝධනයට අදාල ආයතන හා විෂයයන් ගැසට් කිරීමේදී ආර්ථික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය යටතේ ගැනෙන විෂයයන් ගණනාවක් තම යටතේ තබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එසේම ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක්ද ජනාධිපතිවරයා යටතට පත්කර ගැනීමට යෝජනා වී ඇති ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

පළාත් පාලන මැතිවරණයේ පරාජයට මුලික හේතුව නිසි කළමනාකරණයක් නොමැති ආර්ථික වැඩපිළිවෙල හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පැවති දුර්වලතා බව ජනාධිපතිවරයාගේ නිගමනය වී ඇතැයි ද පැවසේ.

දුෂණ චෝදනා එල්ලවූ ඇමතිවරුන්ට අයෙත් ඒ අමාත්‍යාශ නැහැ

යහපාලන ආණ්‌ඩුවේ දෙවැනි අමාත්‍ය මණ්‌ඩල සංශෝධනය බොහෝදුරට අද (21) හෝ හෙට (22) සිදු කිරීමට නියමිත අතර එහිදී අදාල අමාත්‍යංශයේ කටයුතුවලදී වංචා දුෂණ චෝදනා එල්ලවී ඇති කිසිඳු ඇමතිවරයකුට යලි එම අමාත්‍යංශය බාර නොදීමට ජනාධිපතිවරයා දැඩි තීරණයක් ගෙන ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ හේතුවෙන් අද සිදුකිරීමට නියමිතව තිබු කැබිනට් සංශෝධනය බොහෝදුරට කල්යාමේ ඉඩක් ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

තම අමාත්‍ය ධුරය සංශෝධනය කිරීමට යෝජනා වී ඇති බව දැනගත් ඇමතිවරුන් කිහිප දෙනෙකු එල්ල කල විරෝධතා හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සංශෝධිත අමාත්‍ය මණ්ඩල යෝජනා ඊයේ (20) රාත්‍රී වන තෙක් ජනාධිපතිවරයාට ලැබී නැතැයි ද එම ප්‍රකාශකයා කියා සිටියේය.

අකාර්යක්ෂම අයටත් 'සොරි' තමයි :

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය මත මෙම කැබිනට්‌ සංශෝධනය සිදු කෙරෙන අතර එහිදී පසුගිය වසරවලදී සිය අමාත්‍යංශය තුල නිසි කාර්යක්ෂමතාවයක් හා ප්‍රගතියක් නොපෙන්වූ අමාත්‍යවරුන්ට ද යලි එම අමාත්‍යංශය ලබා නොදීමට ඔවුන් දෙදෙනා එකඟත්වයක් ඇතිකර ගෙන තිබේ.

ජාතික ආණ්‌ඩුවේ එක්‌සත් ජාතික පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත් හුවමාරු වීමක්‌ මෙහිදී සිදු කෙරෙන බවද ප්‍රධාන පක්‍ෂ දෙක අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව කැබිනට්‌ සංශෝධනය සිදු කෙරෙන බවද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

තරුණ මන්ත්‍රීන්ට ප්‍රබල ඇමැතිකම් :

අද හෝ හෙට සිදුවන කැබිනට්‌ සංශෝධනයේදී තරුණ මන්ත්‍රීවරුන්ට ප්‍රබල ඇමැතිකම් ලැබීමට ඉඩ ඇති අතර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ ඇමැති තනතුරු අහිමිවීමේ අවධානම සතුව ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කර තිබේ.

මෙම කැබිනට් සංශෝධනයේදී මුදල්, නීතිය හා සාමය, මහා මාර්ග, ධීවර හා ජලජ සම්පත්, ක්‍රීඩා, විද්‍යා හා තාක්‍ෂණ යන අමාත්‍යාංශවල වෙනස්‌වීම් සිදු කෙරෙන බව ද 'දිවයින' වාර්තා කරයි.

No comments:

Latest Video

Powered by Blogger.