කැබිනට් සංශෝධනය ඉරිදා [Breaking]


කැබිනට් සංශෝධනය එළඹෙන ඉරිදා පෙරවරුවේ සිදුකරන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඊට අනුව ඊයේ සන්ධ්‍යාව වන විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යමණ්ඩල සාමාජිකයින්ගේ නම් ලැයිස්තුවද මේ වන විට සකසා අවසන්ව ඇත.

එසේම දුෂණ සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ලැබූ අමාත්‍යවරුන්ට නැවත එම අමාත්‍ය විෂයයන් ලබානොදීමට සහ අමාත්‍ය විෂයයන් තුළ සාර්ථකවීමට නොහැකිවූ අමාත්‍යවරුන්ගේ විෂය වෙනස් කිරීමට ගෙන තිබූ තීන්දුව සම්බන්ධව එජාප - ශ්‍රීලනිප නායකත්වයේ පොදු එකඟතාව පළවී ඇති බැවින් එම තීරණ වෙනසකින් තොරව මෙම අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී ක්‍රියාවට නැගෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන නැවත හිතන්න වෙනවා - අගමැති

ආණ්ඩුවේ වැඩපිළිවෙළ කෙරෙහි ජනතා ප්‍රසාදයක් නොමැති බවට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලවලින් නිරුපණය වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකදීය. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ජා කිරීමට ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක් සමඟ මෙම සාකච්ජාව පවත්වා තිබුණි.

සාකච්ජාව අතරතුර අදහස් දැක්වූ අගමැතිවරයා,

සාමාන්‍යයෙන් බොහෝ රටවල ආණ්ඩු තමන්ගේ පාලන කාලය තුළ මැතිවරණවලට යනවා. එහෙම කරන්නේ තම වැඩපිළිවෙළට ජනතාව සහය දෙනවද ,නැද්ද, එකඟද යන්න දැන ගැනීම සඳහා. අපේ පළාත් පාලන මැතිවරණයෙන් මේ ලබපු ප්‍රතිපලය අපි පිළිඅරගෙන තිබෙනවා. ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉටු කරන්න බැරි වුණ එක ගැන අපි පිළිගන්නවා. අපි වැඩ කරලා තියෙනවා. සමහර ඒවායේ වේගය මදි. සමහර ක්‍රියාදාම ගැන ප්‍රශ්න තියෙනවා. ඒ අනුව මේ ප්‍රතිපල අනුව ඉදිරියට යන්න අපි තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ ඇමති විෂයන් පිළිබඳ මාරුවක් වෙනවා. 

දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැනත් හිතන්න වෙලා තියෙනවා. එජාපයේ අපි කැප වෙලා ඉන්නේ අලුත් නායක පරපුරක් බිහිකරන්න. ඒ නායක පරපුර ඇමතිවරු අතරත් ඉන්නවා, පාර්ලිමේන්තු කණ්ඩායමේත් ඉන්නවා, පළාත් සභා කණ්ඩායමේත් ඉන්නව, පක්ෂේත් ඉන්නවා. ජනතාව අපිට වරමක් ලබා දී තිබෙනවා. ඒ වරම තුළ තමයි අපි ක්‍රියා කරන්නේ. ආණ්ඩුව තුළ කෙරෙන්න ඕන සංශෝධන මොනවාද කියලත් තීරණය කරන්න වෙනවා."

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව ජනතා අභිලාෂයන් ඉටුකරමින් ඉදිරියටත් ඉදිරියටත් පවත්වා ගෙන යන බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


මෙම සාකච්ජාවට සජිත් ප්‍රේමදාස, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, හර්ෂද සිල්වා යන යන අමාත්‍යවරු කිහිපදෙනෙක් සහභාගී විය.

Powered by Blogger.