ගෝඨා කොටුකිරීමට උදයංග යොදාගැනීමේ සුදානමක්?


සිදුව ඇතැයි පැවසෙන මිග් යානා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව, පෙරේදා අලුයම ඩුබායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රජයේ සාක්ෂිකරුවකු ලෙස යොදා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

ඒ සඳහා සම්බන්ධිකරණ කටයුතු සඳහා FCID (මූල්‍ය අපරාධ කොට්ඨාසය) ජ්‍යෙෂ්ඨ නිලධාරියකු යොදා ගැනීමට ද තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 යානා හතරක් මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් උදයංග වීරතුංග මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත. ඒ, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉල්ලීම මතයි.

ඩුබායි බලධාරීන් දෙලොවක් අතර !

මේ අතර උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන ඒම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යන රාජ්‍ය අංශ එක්ව සාකච්ඡා පවත්වයි.

එම සාකච්ඡාවලට අනුව උදයංග වීරතුංග මහතා මෙරටට ගෙනඒම සම්බන්ධව ගනු ලබන තීරණය ඩුබායි ජාත්‍යන්තර පොලිසියට ඊයේ පස්වරුවේ දැනුම්දී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය.

උදයංග වීරතුංග මහතාට මෙරට මෙන්ම වෙනත් රටක පුරවැසිකම තිබුණත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබුණේ මෙරටින් පමණි.

එම නිසා ඔහුට පුරවැසිකම හිමි අනෙක් රටට පිටුවහල් කිරීමට හෝ මෙරට වරෙන්තු ඉල්ලීම පිළිබඳ ඩුබායි ජාත්‍යන්තර පොලිසිය අවධානය යොමුකරන බවද පැවසේ.

කෙසේ වෙතත් අද වනවිට උදයංග වීරතුංග මහතා සම්බන්ධව ගනු ලබන තීරණය ප්‍රකාශ වීමට ඉඩ ඇති බව වාර්තාවේ.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

පෙරේදා (04දා) දින මොහුව අත්අඩංගුවට ගත් බව සඳහන් වුවත් ඊයේ (05දා) වන විටත් එරට පිහිටි ජාත්‍යන්තර පොලිසියේ ශාඛාවෙන් මෙරටට නිල දැනුම්දීමක් සිදු නොකර ඇතැයිද එම කොට්ඨාශයේ උසස් නිලධාරියකු පැවැසීය.

ජාත්‍යන්තර පොලිසියේ මෙරට කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත බවත් ඉන් අබුඩාබිහි පිහිටි එරට කාර්යාලයට මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය නිල වශයෙන් දන්වන ලෙසට ලිඛිතව දැන්වුවත් ඊට මෙතෙක් ප්‍රතිචාර නොලැබී ඇතැයිද එම උසස් නිලධරයා සඳහන් කළේය.

මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදු කරන විමර්ශනයකට අදාළව අධිකරණය මඟහැර සිටින උදයංග වීරතුංග මහතාට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

මහින්ද එරට බලධාරීන්ට කතා කරයි :

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මේ වන විටත් ගනිමින් සිටින බවය.

එසේම ඔහුව රැගෙන ඒමට පොලිස් නිලධාරීන් සූදානමින් සිටින බවද අමාත්‍යවරයා කියා සිටී.

උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන ඒම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යන රාජ්‍ය අංශ එක්ව සාකච්ඡා පවත්වයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩුබායිහි බලධාරීන්ට කතා කරමින් උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත. එම සාකච්ඡා තුලින් සාර්ථක ප්‍රතිපල ලැබී ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු පැවසිය.

''ශ්‍රී ලංකාවට භාර නොදී තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට එම බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා'' - ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා අප කළ විමසීමකදී පැවැසුවේ යම් රටක පුරවැසියකු වෙනත් රටකට ගොස් වරදක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වුවහොත් එම පුද්ගලයා මෙරටට ගෙන්වා ගත යුත්තේ උදර්පණ නීතිය අනුව බවත් ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර උදර්පණ ගිවිසුමක් අස්සන් කර නොමැති නිසා මෙම ගැටලුව මතු වී ඇති බවත්ය.

එම නිසා මෙවැනි අවස්ථාවකදී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නම් දෙරටේ තානාපතිවරුන් හරහා සාකච්ඡා කළ යුතු බවත් ඒ හැරෙන්නට වෙනත් විසඳුමක් නොමැති බවත් මහානාම හේවා මහතා ප්‍රකාශ කරයි.

යම් ආකාරයකින් උදයංග වීරතුංග මහතා තමාට එල්ල කර තිබෙන චෝදනාවලින් නිදහස් වුවහොත් යන කාරණයද ඩුබායි බලධාරීන්ගේ සැලකිල්ලට ලක් වන නිසා උදයංග වීරතුංග මහතා ක්ෂණිකව ශ්‍රී ලංකාවට භාර නොදී තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට එම බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙන බව ප්‍රතිභා මහානාම හේවා මහතා සඳහන් කරයි.

No comments:

Latest Video

Powered by Blogger.