ජනපති බ්‍රිගේඩියර් ප්‍රියංක යළි සේවයේ පිහිටුවයි.


සේවය අත්හිටුවන ලද එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයා (Minister Counsellor-Defence) වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගෙන් කිසිදු කරුණු විමසීමක් නොකොට ඔහුගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් ලේකම්වරයාට ජනාධිපතිවරයා දොස් නගා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එසේ බ්‍රිගේඩියර්වරයාගේ සේවය අත්හිටුවීමෙන් පසුව ඔහු සිවිල් වැසියකු බවට පත්වන බවත්, එබැවින් ඔහු බ්‍රිතාන්‍ය පොලිසියේ අත්අඩංගුවට පත්වූයේ නම් එය රාජතාන්ත්‍රික ගැටලු දක්වා දුර යා හැකිව තිබූ බවයි.

ජනපතිවරයා, ප්‍රියංකව දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට අද පෙරවරුවේ උත්සාහදරා ඇති බවද ජනාධිපති ලේකම් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බ්‍රිගේඩියර් ප්‍රියංග ගැන රාජපක්ෂලා කිඹුල් කඳුළු සලනවා - හරීන්

ලන්ඩන් ත්‍රස්ත සිදුවීමේ දේශාපාලන වාසි තකා රාජපක්ෂලා එම සිද්ධියමුල්කරගෙන කිඹුල් කඳුළුහෙළන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතා අද (07දා) බදුල්ලේ සිය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයට යටත්ව කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් මේ දවස්වල  මහත් ආන්දෝලානාත්මක ප්‍රවෘත්තියක් සමාජ වෙබ්ජාලාවල, ප්‍රවෘත්තිවල  යනවා.

නමුත් පැහැදිලිව කියන්න ඕන ප්‍රියංග  ප්‍රනාන්දු මැතිතුමා 2010 මැතිවරණය කාලේ සරත් ෆොන්සේකා මහතාගේ කාලයේමුල්ලන්කෝවිල් කියන කඳවුරේ තමයි කමාන්ඩින් ඔෆිසර් හැටියට කටයුතු කළේ. එසේ කටයුතු කරන කොට ඒ කාලේ  ගායකයෙක් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයට ජන්දය දෙන්න කියල කියද්දි  එතුමා ඒ ගායකයාට ප්‍රකාශයක් කළා කඳවුර ඇතුළෙ දේශපාලනය කරන්න එපා කියලා. ඒක කිව්වයි කියල පැය ගාණක් යනකොට එතුමාගේ වැඩ තහනම් කරපු කණ්ඩායම තමයි දැන් මෙතුමා වෙනුවෙන්  වැඩියෙන්ම කඳුළු සලන්නේ.

මං විශ්වාසයෙන් කියන්න ඕන.එතුමා එදා  බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සංවේදීව හැසිරුණා.මං වුණත් ඇමතිවරයෙක් හැටියට මගේ ඉස්සරහට ඇවිල්ලා ප්‍රභාකරන් වෙනුවෙන් කවුරුහරි කෑගැහුවානම් මගෙත් ඇඟේ ලේ කුපිත වීම සාමාන්‍යසිදුවීමක්.

ඒ නිසා මේ වෙලාවේ එක් ඉල්ලීමක් කරනවා මේක දේශපාලනීකරණය කරන්න හදන්න එපා.මේක මැතිවරණ වේදිකාවට උස්සන් එන්න හදන්න එපා.

බ්‍රිතාන්‍යයේ නීතිය අනුව එතුමාට ඊට වඩා ලොකු දඬුවමක් ලැබෙන්න තියෙන එකටඅපට මේ වෙලාවේ කරන්න තියෙන්නේ එතුමාගේ වැඩ තහනම් කරලා ලංකාවට ගෙනැල්ල පරීක්ෂණයක් කරලා, අපි විසඳගන්න එකයි. එහෙම නැතිව ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න එක නොවෙයි. ඉතින් අර ස්වාසිලන්තයත් එක්ක ගනුදෙනු කරපු රාජපක්ෂලාට එංගලන්තයත් එක්ක ගනුදෙනු කරලා තේරෙන්නේ නැතිව ඇති.


අපි එතුමා බේරාගන්නම්, අපි එතුමා‍ගේ ප්‍රශ්නය විසඳාගන්නම්. ඔබතුමාලා මැදමුලනට ගිහින් ඔබතුමාගේ දේශපාලනය කරගන්න කියන ඉල්ලීම තමයි කරන්න වෙලාතියෙන්නේ" යනුවෙන් කියා සිටියේය.

No comments:

Latest Video

Powered by Blogger.