කොළඹ කුණු ඇදිල්ලේ අසාමාන්‍ය වැඩිවීමට වගකිවයුතු එජාප ආණ්ඩුවද? නා.කෝ. ද?


වසර 2015- 2016 දී කොළොන්නාව සහ මීතොටමුල්ල ප්‍රදේශවල අප ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පුද්ගලික සමාගම්වලට ගෙවනු ලබන මුදල් ප්‍රමාණයේ අසාමාන්‍ය වැඩිවීමක් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවට අනුව කොළඹ මහනගර සභාව විසින් වෙන් කරන ලද වියදම් ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, 2014 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව කොළඹ මහ නගර සභාව විසින් 2015 දී සහ 2016 දී පිළිවෙළින් රුපියල් මිලියන 64 ක් සහ රුපියල් මිලියන 182 ක් සහ රුපියල් මිලියන 232 ක් ගෙවා ඇති බව දක්වා ඇත.

කොළඹ මහ නගර සභා ප්‍රදේශය සඳහා නිසි කුණු ගොඩබෑමේ සැලැස්මක් නොතිබීම ඛේදවාචකයට ප්‍රධාන හේතුව බව ඉන් තහවුරු වී තිබේ.

මෙම ගැටළුව විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක වී නොමැති බව ද වාර්තාවේ සඳහන් වේ.

මීතොටමුල්ල අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ කෙටි කාලීන හා දීර්ඝ කාලීන නිර්දේශ ඉන් ඉදිරිපත් කර ඇති අතර බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා කේන්ද්‍රීය ආයතනයක් පිහිටුවීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත.

මැලේසියාවේ වර්තමාන ශ්‍රී ලංකා මහ කොමසාරිස් එම්.ජේ.එම්. මුසම්මිල් මහතා කොළඹ නගරාධිපතිවරයා සිටියදී නගර සභාවේ පරිපාලනය මෙහෙයවූ ආකාරය පිළිබඳව එම වාර්තාවෙන් බරපතල ලෙස චෝදනා කර තිබේ.

ජනාධිපතිවරයා වෙත අදාළ කොමිෂන් වාර්තාව පිළිගන්වා ඇත්තේ එම කමිටුවේ සභාපති විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර, කමිටුවේ ලේකම් ඩී. එම්. කරුණාරත්න සහ නීති නිලධාරී පාලිත අබේවර්ධන යන මහත්වරුන් විසිනි.

වැඩිවීම ගැන අනුර කියන කතන්දරය !

කමිටු වාර්තාවේ එසේ සටහන්ව තිබුණද, කොළඹ නගර සභාව විසුරුවා හරිනු ලැබු බැවින් ඉන් පසුව සිදුව ඇති වැඩිවීමට වගකිව යුතුවන්නේ වත්මන් නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා බවට මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

මේ සම්බන්ධයෙන් වී.කේ.ඒ. අනුර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ භාණ්ඩාගාරිකවරයා විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු පැහැදිළි නොකර ඉදිරිපත් කිරීම නිසා වැරදි වැටහීමක් ඇතිවී ඇති බවයි.

ඔහු කියාසිටියේ 2014 ට පෙර කොළඹ නගර සභාවේ කුණු ඉවත් කිරීමට යොදවා තිබුණේ යුද හමුදාවේ ලොරි බවත්, ඒ අවස්ථාවේ නගර සභාවෙන් ඒවාට ඉන්ධන සැපයීම පමණක් සිදු කළ බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

"2014 දි ටෙන්ඩරයක් කෝල්කරලා වාහන හයර් එකට අරං තියෙනවා. ඊට පස්සෙ කුණු ඇදල තියෙන්නේ හයරින් වාහනවලින්. ඒ නිසා 2014 අවුරුද්දෙම මිලියන 20 ඉක්මවලා ගෙවල තියෙනවා. මම ආවෙ 2015 ජනවාරි 15 වැනිදා. ඒ විදියට මිලියන විස්සක් මාසෙකට ගියා නම් 240 ක් වෙන්න ඔනනේ අවුරුද්දට..නමුත් අපි ඒක කොන්ට්‍රෝල් කරල තියෙන්නෙ..ඒ නිසා තමයි මිලියන එකසිය හැට ගානට ආවෙ..මතක ඇති මහ ගංවතුරක් ආවා..ඒ කාලෙ මුළු කොළඹ යටවුණා..පස්සෙ ගංවතුර බැස්සම ගෙවල්වල කුණු ඔක්කොමදාල පාරවල් යටවුණා.. ගංවතුර බැස්සයින් පස්සේ...ඒ කුණු අදින්න වුණේ කොළඹ මහ නගර සභාවට..ඒ හේතුව නිසා ඒ මාස කීපයෙත් වියදම වැඩි වුණා..ඒ හැරෙන්න සමස්ථයක් ලෙස ගත්තම 2014 අවසන් මාසෙ ගාණන ඉක්මවා 2015 කිසිම මාසෙක වැඩියෙන් ගිහින් නෑ..2016ත් එහෙම වියදමක් දරල නෑ…2017ත් නැවත වැඩිපුර වියදමක් දරල තියෙනවා..ඒ ඊට ඉස්සර ඔතනට කුණු දැම්මෙ නොමිලෙනෙ…දැන් අපි කුණු දාන්නේ පහත් බිම් එකට…ඒකට බිම් කුළි විදියට ගිහින් දානවට ටොන් එකකට 3,000ක් ගෙනවනවා…දැන් ඒ නිසා මිලියන 40ක් විතර මාසෙකට වෙලා තියෙනවා.."

(SLM)

No comments:

Latest Video

Powered by Blogger.