Ad

නීතිය නැව්වේ නැත්නම් ඇලෝසියස් නිදහස් වන ලකුණු : [විශේෂ වාර්තාව]


බැඳුම්කර ගනුදෙනුව හරහා සේවක අර්ථසාධක අරමුදලට පමණක් ගනුදෙනු 7 කට අදාළව රුපියල් බිලියන 26ක පාඩුවක් සිදුව ඇති බවට කැෆේ සංවිධනයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සහ රුසිරිපාල තෙන්නකෝන් සඳහන් කරන කාරනා සාවධ්‍ය වීමට වැඩි ඉඩක් ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරයි.

තෙන්නකෝන් දෙබෑයන්ගේ නාඩගම

එසේම ඔවුන් පදනම් විරහිතව පක්ෂග්‍රාහී ලෙස සිදුකරන මෙම විවිධ ප්‍රකාශ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව සිදුවන නෛතික ක්‍රියාවලියට පවා දැඩි හානියක් සිදුකරන බවද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

විගණකාධිපති - කෝප් - ජනාධිපති කොමිසම වැඩ නාගෙනද

තෙන්නකෝන් මහත්වරුන් සඳහන් කරන තොරතුරු අනුව විගණකාධිපති විශේෂ විමර්ශනය සහ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් විමර්ශනය පමණක් නොව බැඳුම්කර ජනාධිපති කොමිසම පවා සිය කාර්ය නිසිලෙස ඉටුකිරීමට සමත්ව නොමැති බවක් හැගී යන බව සඳහන් කරන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ඔවුන් සිදුකරන ප්‍රකාශ එතරම් බරපතල ලෙස නොගත යුතු බවය.

නින්දෙන් අවධිවුවා සේ ඔවුන් රුපියල් බිලියන 26ක පාඩුවක් ගැන එක් වරම මහා සොයාගැනීමක් කරනු ලැබූ ආකාරයේ හැසිරීමක් ඔවුන් පෙන්වන්නේ මෙතෙක් තමන් විසින් නඩත්තු කරමින් සිටි මතය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක නිලධාරියා ඉදිරිපත් කළ ලේඛනය නිසා අභියෝගයට ලක්වූ නිසා බවද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කර සිටියි.

 බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ඇතිව තිබෙන සමාජ අවධානය සහ ඒ ආශ්‍රිත සිදුවීම් සම්බන්ධව සිදුකළ අදහස් විමසීමකදී නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙකු මෙම කරුණු අනාවරණය කර සිටිනු ලැබීය.

තෙන්නකෝන් දෙබෑයන් සීරියස් ගන්න එපා

බැඳුම්කර ගනුදෙනුවට අදාළව තෙන්නකෝන් මහත්වරුන් සඳහන් කරන කාරනා බැරෑරුම්ව නොගත යුතු බවට නිදර්ශන ලෙස නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිහිපත් කර සිටින්නේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ ගැසට් පත්‍රය සම්බන්ධව පසුගිය වසරේ තෙන්නකෝන් මහත්වරුන් කටයුතු කළ වගකීම් විරහිත ආකාරයයි.

ගැසට් පත්‍රය ගැන සංදර්ශනයෙන් ඇනගත්තා මතකද

එදා ඔවුන් මහා සොයාගැනීමක් සිදුකළ බවක් පෙන්වමින් විශාල මාධ්‍ය සංදර්ශනයක් පවත්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වසර ආරම්භයේ දී වෙන් කරවා ගත් අංකයක් යොදා ගනිමින් 2015 වසරේ සැප්තැම්බර් මාසයේ රජයේ මුද්‍රණාලය වෙත යොමුකර එය දෙසැම්බර් මස 15 හෝ ඊට ආසන්න දිනයක දී මුද්‍රණය කර ඇති බව පවසමින් කදිම නාඩගමක් නැටු බවත් එහෙත් එම කතාව අමුලික බොරුවක් බව පසුව අනාවරණය වූ එම නීතිවේදීන් පෙන්වා දෙයි.

 එදා කීර්ති තෙන්නකෝන් මහතා පුවත්පතක් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අදාළ සිදුවීම සම්බන්ධව සඳහන් කර තිබුණේ "බැඳුම්කර වංචාව නීතිය ඉදිරියේ දී අර්බුදයකට ලක් කර ඊට වගකිවයුතු පාර්ශ්ව සඟවා ඒ සියල්ලට රාජපක්ෂවරු වගකිවයුතු බවට නොමඟ යැවීමට මෙය සිදුකර ඇති බවත් ඒ බව තවදුරටත් තහවුරු කරනුයේ 2015 ජනවාරි 1 දින වන විට මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කළ මුදල් අමාත්‍යවරයා 2015 මාර්තු 1 දින සිදු වන දූෂිත බැඳුම්කර ගනුදෙනුවේ සැබෑ වටිනාකම අන්තිම රුපියල් සියයට (එනම් රුපියල් දසලක්ෂ 10,058 ක් බව) නිවැරැදිව දැන සිට ඇති මැජික් සටහන අනුව බවත් ය.

අදාළ ගැසට් පත්‍ර හෙළිදරව්ව 


එසේම මෙම දූෂිත ගනුදෙනුවේ පොලී අනුපාතය 12.5% ක් වන බව ද ගැසට් නිවේදනය තුළ සඳහන් කිරීමත් ඉතා සැක සහිත බවත් ඒ අනුව මේ සූදානම් වී ඇත්තේ ජනාධිපති කොමිසම පවා නොමඟ යවමින් එහි විමර්ශන අඩපණ කිරීමට බවත් ඔහු සඳහන් කර තිබිණ.'

 එදා මහා අභිරහසක් අනාවරණය කරගත් ආකාරයට ඔවුන් මේ ආකාරයේම හැසිරීමක් පෙන්නුම් කළත් අවසානයේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ රජයේ අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් වන්නේ අදාළ බැඳුම්කර නිකුත් කිරීමෙන් පසුව බව අනාවරණය විය. හිටපු ජනාධිපති රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස 2013 වසරේ එලෙස නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනවල 2003 වසරේ නිකුත් කළ බැඳුම්කර නිකුතු වෙනුවෙන් ආඥා කළ බවට සඳහන් නිදර්ශන ඇති බව පසුව එම පුවත්පතම අනාවරණය කර තිබූ බවද ඔවුන් පෙන්වා දෙයි. එසේම ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම හරහා තෙන්නකෝන් මහත්වරුන්ට බැඳුම්කර නිකුතුන් සම්බන්ධ මූලික දැනුමක් පවා නොමැතිව මාධ්‍ය සංදර්ශන පවත්වා ඇති බවයි.

බැඳුම්කර ගනුදෙනුවේ රාජ්‍ය පාඩුව ගැන විවිධ කතා

මේ අතර මෙතෙක් බැඳුම්කර ගනුදෙනුව හරහා රජයට සිදුවූ පාඩුව සම්බන්ධව විවිධ ගණන් ඉදිරිපත් වන ආකාරයක් පෙනෙන්නට ඇති බවත් එම ගණනය කිරීම් අතර පරස්පරයක් පවතින්නේ ඒවා සියල්ල උපකල්පනයන් මත සිදුකරනු ලබන ගණනය කිරීමේ ක්‍රමවේදය නිසා බව මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින් සඳහන් කර සිටියි.

කසුන් පලිසේනගෙන් පළිනොගන්න : අභියෝග කරන්න

එසේම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක නිලධාරි කසුන් පලිසේන අදාළ ගනුදෙනු හරහා රජයට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බවත් ඒ වෙනුවට ඔවුන්  kasun p 1000pxසමඟ ගනුදෙනු කළ රාජ්‍ය ආයතන 3 ට රුපියල් බිලියන 25 කට අධික ලාභයක් සිදුව ඇති බව ගණනය කර පෙන්වා දී ඇත.

ඒ අනුව ISIN, face value, cost of purches, carrying value, market value, capital gain profit/ loss, coupon received by holder till 22 jan.. 2018, coupon interest යන දත්ත දක්වා සේවක අර්ථසාධක අරමුදල රුපියල් 21,263,853,450.00 සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් 2,976,658,500.00 සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 1,242,428,050.00 ලෙස රුපියල් 25,482,940,000.00 වශයෙන් රුපියල් බිලියන 25 කට අධික ලාභයක් උපයා ගෙන ඇති බව ගණනය කර දක්වා තිබේ.

කැල්කියුලේෂන් සමරි

ඒ අනුව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දී ඇත්තේ එම ගණනය කිරීම් නිවැරදි නම් සහ එය වැරදි බව න්‍යායිකව ඔප්පු කිරීමට අසමත් වුවහොත් අදාළ ගනුදෙනු මත රජයට අලාභයක් සිදුව ඇති බවට එල්ල කෙරෙන චෝදනා අහෝසිවී යා හැකි බවය.

 ඒ පදනමින් රජයට පාඩුවක් සිදුව ඇතැයි පවසන 

පාර්ශව දැන් කළ යුතුව තිබෙන්නේ කසුන් පලිසේන ඉදිරිපත් කර ඇති ගණනය කිරීම තුළ ඇති වරද අනාවරණය කිරීම බවත් අධිකරණයේදීද මේ පිළිබඳ අවධානය යොමුවනු ඇති බවත් ඔවුන් සඳහන් කර සිටියි.

මේ දත්ත වෙනුවෙන් කොමිසමේ දොරටු වැහුනා - PPT

කසුන් පලිසේන විසින් පසුගියදා තම ආයතනය සමඟ ගනුදෙනු කිරීම හරහා රාජ්‍ය ආයතන වෙත පාඩුවක් සිදුව නොමැති බව පෙන්වාදුන් එම දත්ත ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය නොකළේ ඇයිද යන්න පිළිබඳ විමසීමේදී PPT පාර්ශවය සඳහන් කර සිටියේ ඔවුන්ට ඒ සඳහා නිසි අවස්ථාවක් නොලැබුණු බවය.

නීතිය ක්‍රියාත්මක කරනවාද ? පොලිටිකල් ගේමක්ද ?

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වූ අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කිසිසේත්ම තෘප්තිමත් විය නොහැකි බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරයි.

කාලෙන් කාලෙට වෙනස්වුන චෝදනා

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට බැඳුම්කර ගනුදෙනුව තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලාභ ලැබූ ආකාරය සැකසහිත බවට ඉදිරිපත් කළ තර්ක පදනම් විවිධ අවස්තාවලදී වෙනස්වී තිබේ.

මේ වන විට මුලික ප්‍රවාදය ගොඩනැගී ඇත්තේ සමාගම ලැබූ ලාභය රජය ලැබූ අලාභයක් ලෙස දක්වමින්ය. එහෙත් මෙම සිදුවීම ආරම්භයේ ඊට අදාළව චෝදනා නැගු පාර්ශව සඳහන් කර සිටියේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙතින් ලබාගත් තොරතුරු මත මෙම බැඳුම්කර ලබාගැනීමට ඔහුගේ බෑනා සතු පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගම කටයුතු කළ බවත් ඒ අනුව මහ බැංකුවේ රහස්‍ය තොරතුරු පිටතටදීම සම්බන්ධව ඔවුන් වැරදිකරුවන් බවය.

අනෙක් ලංසුකාර සමාගම් ගැනත් බලන්න

නමුත් එක් එක් සමාගම් විසින් අදාළ ගනුදෙනු සඳහා ලංසු තබා ඇති ආකාරය අනුව පෙනී යන්නේ තවත් සමාගම් දෙකක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම තැබූ ලංසු වලට ආසන්නව ලංසු තබා ඇති බවය. එසේම මේ පිළිබඳ කළ විමසුමකදී එම පාර්ශවයද සඳහන් කර සිටියේ බැඳුම්කර නිකුතුන්ට අදාළ මහ බැංකුවේ වෙබ් අඩවියේ තොරතුරු සහ රජයේ මුදල් අවශ්‍යතාව පිළිබඳ නිවැරදිව තක්සේරු කළ හැකි ඕනෑම අයෙකුට මෙසේ විශාල මුදලක් වෙනුවෙන් ලංසු තැබිය හැකි බවත් එම අවස්ථාව ලබාගැනීම තක්සේරු කිරීමේ දක්ෂතාව මත පදනම් වන්නක් වන බවය.

එසේම ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් මුල්‍ය වෙළඳපොල වෙත අවශ්‍ය තරම් ඉවකින් කටයුතු කර ලාභ ලැබීම වරදක් නොවන බවත් තම පාර්ශවය මෙහිදී ලංකා නීතිය උල්ලංඝණය වන කිසිඳු කටයුත්තක් සිදුකර නොමැති බවද ඔවුන් සඳහන් කර සිටියි.

පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් දාපු සෙල්ලම මොකක්ද?

මේ පිළිබඳ මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින් වෙතින් අප කළ විමසුමකදී ඔවුන් සඳහන් කර සිටියේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් නිකුත් කළ ඔවුන්ගේ ආදායම් වාර්තාව ඇසුරෙන් මේ පිළිබඳ විශ්ලේෂණය කිරීමක් හැර ඊට වඩා වැඩි යමක් කිරීමට තමන්ට නොහැකි බවය. ඒ අනුව යමින් ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ ශුද්ධ පොලී ආදායමෙහි සංයුතිය පරීක්ෂා කළ විට එම සමාගම උපයා ඇති ආදායමින් පොලී වියදම් ලෙස විශාල මුදලක් ගෙවා ඇති බවත් ඔවුන්ගේ ආයෝජන මුළුමනින්ම පාහේ වෙනත් පාර්ශවයන් වෙතින් අඩු පොලියකට ණයට ගෙන ඇති බවක් පෙන්නුම් කරන බවය.

අඩු පොළියට කෙටි කාළීන ණය - වැඩි පොළියට දිගුකාලීන ආයෝජනයට

එසේම ඔවුන්ගේ ව්‍යාපාරික උපක්‍රමයේ ස්වභාවය වී තිබෙන්නේ අඩු පොලියට කෙටිකාලීන ණය ගනිමින්, වැඩි පොලී ලබා දෙන දිගුකාලීන ආයෝජන වල එම අරමුදල් යොදවා, මේ දිගුකාලීන බැඳුම්කර ඉතා ඉක්මණින් නැවත ද්වීතියික වෙළඳපොළෙහි විකුණා ප්‍රාග්ධන ලාභයක් මෙන්ම පොලී ආන්තිකයක්ද ඉපැයීම බවය. මෙය මුල්‍ය වෙළඳපොල තුළ ඉතා අවදානම් සහගත කටයුත්තක් නමුත් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම එම අවධානම ගැනීම තුළ සාර්ථකත්වයට පත්ව ඇති බවක් පෙන්නුම් කරන බවද ඔවුන් සඳහන් කර සිටියි.

අර්ජුන් මහේන්ද්‍රන්ට පෙරත් PPT අධික ලාභ ලබලා

එසේම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම අධික ලාභ ලබන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් වූ දින සිට නොවන බවත් 2014 මාර්තු අවසානය වන විට එම වසර තුළ අදාළ සමාගමේ ලාභය මිලියන 959.5ක් බවද මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම තම මවු සමාගම වූ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගම විසින් යෙදවූ රුපියල් මිලියන 310.3ක ප්‍රාග්ධනයකට පමණක් හිම්කම් කියූ නමුත් මුල් වසරේ ලාභයෙන් වැඩි කොටසක් සමාගමේ ප්‍රාග්ධනයට එකතු කරගනිමින් සිය දෙවන වසර රුපියල් මිලියන 1,065.9ක ප්‍රාග්ධනයක් සමඟින් ආරම්භ කර ඇති බවත් දෙවන වසරේ එම සමගම ලබන ලාභය රුපියල් මිලියන 5,124.3ක් වී ඇති බවද ඔවුන් සඳහන් පෙන්වා දෙයි.

එසේම දෙවන වසර අවසානය වන විට පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රාග්ධනය රුපියල් මිලියන 6,164.6 දක්වා ඉහළ ගොස් ඇති බවත් මේ ප්‍රාග්ධනය යොදවමින් සමාගම ඊළඟ මාස හය තුළ තවත් රුපියල් මිලියන 6,815.3ක ලාභ උපයා ඇති බවත් ඒ අනුව අදාළ සමාගම වසරකට 229.4%ක ප්‍රතිලාභ අනුපාතිකයක් පෙන්වා ඇති බවද මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

කබ්රාල් සමයේ චෝදනා නෑ : ඒත් ලාභය !

එසේම 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අනිසි වාසියක් සැලසුණු බව ඇතැමුන් පවසන නමුත් අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිධුරයෙන් ඉවත් වීමෙන් පසුවද එම සමාගම 229.4% තරමේ ඉහළ ප්‍රතිලාභ අනුපාතික වාර්තා කර ඇති බව පෙන්වා දෙන මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින් මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කළ සමයේ ඔහුගේ සොහොයුරිය පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ පූර්ණ අයිතිය ඇති මවු සමාගමේ අධ්‍යක්ෂවරියකව සිටි සමයේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රතිලාභ අනුපාතිකය 309.2% තරම් ඉහළ මට්ටමක පැවත ඇති බවද පෙන්වා දෙයි.

මූලික දැනුමත් නැතිව ඔහේ මතුරණ මැතිරිලි

එහෙත් එම සමයට අදාළව කිසිඳු චෝදනාවක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අදාළව නොමැති බවත් ඒ හමුවේ ප්‍රථමික ගැනුම්කාර සමාගමක ලාභය පිළිබඳ ප්‍රසිද්ධියේ සහතික දීමට ඉදිරිපත් වීමෙන් පෙනෙන්නේ මුල්‍ය වෙළඳපොල පිළිබඳ සහ එහි හැසිරීමට අදාළ මුලික දැනුම පවා එම පාර්ශව වෙත නොමැති බව යන්න බවද මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින් සඳහන් කර සිටියි.

චෝදනාව එකවර ප්‍රතික්ෂේප කරන්න බෑ

එසේම අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස සිටීම තුළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අනිසි වාසියක් ලැබී ඇති බවට මතුකරණ තර්කය තමන් එකවර ප්‍රතික්ෂේප නොකරන නමුත් එම සමාගමේ ඉහළ ලාභ වලට එකම හේතුව ලෙස එය සැලකීමට කොහෙත්ම ඉඩක් නොමැති බවද ඔවුන් සඳහන් කරයි.

PPT ලැබූ ලාභය ලබන්න තවත් සමාගම් වලට පුළුවන්

එසේම ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙරට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් හෝ වෙනත් එවැනි සමාගමක් විසින් බැඳුම්කර වෙළඳාමෙන් ඉදිරියේදී මෙවැනි විශාල ලාභ ලැබීමට ඉඩකඩ පවතින බවය. එහෙයින් සිදුකළ යුතුව ඇත්තේ පවතින ක්‍රමයට වඩා නියාමනයක් සහිත දියුණු ක්‍රමවේදයක් හඳුන්වාදීම බවත් දේශීය සමාගමක් ලබන ලාභය මත ඔවුන් හොරු ලෙස හංවඩු ගැසීම කොහෙත්ම වෙළඳපොල සමාජ ආර්ථිකයක් පිළිබඳ යහපත් හැසිරීමක් නොවන බවද ඔවුන් සඳහන් කර සිටියි.

නීතියේ අඩුවේ වාඩුව සමාගමෙන් ගන්නවාද ?

මේ පිළිබඳ අදහස් දක්වමින් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ද සඳහන් කර සිටියේ කුප්‍රකට රාජ් රාජරත්නම් ඇමරිකාවේ ලැබූ චෝදනා මෙරටදී ලබන්නට කිසිඳු සමාගමකට ඉඩක් නොමැති බවත් ඒ මෙරට නීතියේ අඩුපාඩුවක් වන නිසා බවය.

ඒ අනුව සිදුකළ යුතුව තිබුණේ එම නව නීති හඳුන්වාදීම වුවත් මේ මොහොතේ ලංකාවේ සිදුවෙමින් පවතින්නේ අදාළ සමගම වරදක් සිදුකර ඇති බවට පුර්ව නිගමනයක සිට ඊට අදාළව නීති ගෙනෙන්නට යන තවත්වයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

නීතිය නැව්වේ නැත්නම් ඇලෝ නිදහස්

එසේම කුමන හෝ ආකාරයට සැකකරුවන් වරදකරුවන් බවට පත්කිරීමේ අපේක්ෂාවක් මේ තුළ පවතින බවත් ඒ ආකාරයට නීති නැවීම කිසිසේත්ම ශිෂ්ට සමාජය අනුමත නොකරන බවය. එසේම එම නීති ප්‍රවීණයන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඒ හැර ලාභය ඉපයීම පදනම් කරගෙන අදාළ සමගම වැරදිකරුවන් කිරීමට ඉඩක් තමන් නොදකින බවය. එසේම මානව අයිතිවාසිකම් ගැන මාරාන්තිකව පෙනී සිටින ඇතැමුන්ගේ ඊනියා හැසිරීම මේ තුළ හෙළිවන බවත් ඒ සියල්ලට වඩා වෙළඳපොල සමාජ ආර්ථිකයක් තුළ සිටිමින් ව්‍යාපාරික ප්‍රශ්න දේශපාලනික ප්‍රශ්න බවට පත්කර ගැනීම හරහා ලංකාව තවමත් නව ගෝලීය තත්වයන්ට ගැලපීමට නොහැකි බැරිබැරියාවෙන් පෙලෙන බව ඔප්පු වන බවද ඔවුන් සඳහන් කරයි.

 (මේ නීති ක්ෂේත්‍රයේ සහ මුල්‍ය වෙළඳපොල සම්බන්ධ ප්‍රවීණයන් කිහිපදෙනෙකු සමඟ newstube.lk වෙබ්අඩවිය සිදුකළ අදහස් විමසීමක් ඇසුරෙන් සිදුකළ අනාවරණයක් බව සලකන්න.)

No comments:

Powered by Blogger.