නිදහස් කිරීමක් නැහැ : උදයංග තාමත් ඩුබායි වල?


ජාත්‍යන්තර පොලිසිය මගින් තමා නිදහස් කළ බවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන සත්‍ය නොවන බව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID) ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

''උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට පත්වුයේ අවලංගු කරන ලද ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයකින් ඇමරිකාව බලා යාමට පැමිණි අවස්ථාවේදී. එහිදී ඔහු සතුව ව්‍යාජ ගුවන් බලපත් දෙකක් තිබී හමුවෙලා. ඒ ගුවන් ගමන් බලපත් අත්අඩංගුවට අරන්. උදයංග වීරතුංග මේවනවිටත් ඉන්නේ ඩුබායි වල. ඔහුට දැනට එරටින් පිටවෙන්න බැහැ. ඔහුව ශ්‍රී ලංකාව රැගෙන එන්න අබුඩාබි අධිකරණයෙන් නියෝගයක් ගන්න මේවනවිටත් කටයුතු කරමින් ඉන්නේ ...'' යයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

කෙසේවුවද උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් ගිණුමේ හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ජත්‍යන්තරව චෝදනාවක් නොමැතිව හා රතු වරෙන්තුවක් නොමැති බවට සනාථ වීමෙන් පසු තමා නිදහස් කළ බවයි.

රජයේ නිලධාරීන් ඩුබායි ගිහින් :

පසුගිය ඉරිදා (පෙබරවාරි 04) උදෑසන ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්වු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාව රැගෙන එම සඳහා රජයේ නිලධාරීන් හතර දෙනෙකු ඊයේ (07) රාත්‍රී ඩුබායි බලා පිටත්ව ගොස්ව තිබේ.

අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර, විදේශ කටයුතු අමාත්‍යංශයේ විජේරත්න ඇතුළු නිලධාරීන් හතර දෙනෙකු එසේ එසේ ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු ඉන් අනතුරුව අබුඩාබි වලට යාමට නියමිතය.

අධිකරණය මගහැර සිටීම :

උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර පොලිසිය වෙත මීට වසරකට පමණ පෙර වරෙන්තු නිකුත් කර තිබු බව ප්‍රකාශ වේ.

ඒ, පැවති ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මිග් යානා ගනුදෙනුවේදී සාවද්‍ය පරිහරණයට අදාලව සිදුකෙරෙන විමර්ශන කටයුතු වලට සහයනොදී අධිකරණය මඟහැර සිටින බව පවසමිනි.

මේ අතර උදයංග වීරතුංග මහතාට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තහනම් නියෝගයක් නිකුත් කළේය.

කෙසේවුවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා උදයංග වීරතුංග මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.

තවත් චෝදනා දෙකක් ?

මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) විසින් සිදුකෙරෙන විමර්ශන වලදී කටඋත්තරයක් ලබාදෙන ලෙස ඔහුගෙන් කල ඉල්ලීම නොසලකා හරිමින්, එම කැඳවීමට අවනත නොවීම හේතුවෙන් උදයංග වීරතුංග මහතාට අපරාධ විධි විධාන සංග්‍රහයේ යටතේ චෝදනා එල්ලවී තිබේ.

ඒ අනුව ලංකාවට පැමිණ කටඋත්තරයක් ලබාදෙමින් ඔහුට අධිකරණයෙන් සහනයක් ලබාගැනීමේ ඉඩක් ඇතැයි නීතිවේදීන් තර්ක කරති.

නමුත් පසුගියදා අත්අඩංගුවට පත්වීමේ සිද්ධියත් සමග ඔහුට තවත් චෝදනා දෙකක් එල්ලවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසිය.

ශ්‍රී ලංකා රජය විසින් තානාපතිවරයකු ලෙස ඔහුට ලබාදී රාජ්‍යතන්ත්‍රීක විදෙස් ගමන් බලපත්‍රය ධුර කාලයෙන් පසු යලි බාර නොදීම හා අවලංගු කර ඇති ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් විදෙස් රටකට යාමට තැත් කිරීම එසේ අලුතින් එල්ලවී ඇති චෝදනා වේ.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.