මෛත්‍රී පාර්ශවයෙන් කොළ එළි දැල්වේ : SF ට නීතිය හා සාමය දීම ස්ථිරයි?


කැබිනට් සංශෝධනයේදී නිතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත්කිරීම සඳහා ආණ්ඩුව අභ්‍යන්තරයේ පොදු එකඟතාවක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට 25 වනදා සන්ධ්‍යාවේ නීතිය හා සාමය අමාත්‍යංශය පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය සරත් ෆොන්සේකා වෙත දැනුම්දී ඇත.

SF - රනිල් හමුව

ඉන්දුනීසියාවේ සිදුකල සංචාරය නිමාකර ලංකාවට පැමිණි සරත් ෆොන්සේකා එම දැනුම්දීම අනුව සඳුදා (26) අරලියගහ මන්දිරයට ගොස් අග්‍රාමාත්‍යවරයා මුණගැසී ඇත.

අදාළ විෂය පථය සම්බන්ධව දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර අමාත්‍යංශයේ ඉදිරි වැඩ කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳද එහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වන අතර තමන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට පත් වන්නේ නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පවා තමන්ට බලපෑම් නොකර සිටිය යුතුය යනුවෙන් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා එහිදී කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට ඇත.

හමුදාවේ සහ සිවිල් වෙනස දන්නවා - SF

එසේම තමන් හමුදාවේ කටයුතු කළ ආකාරයට කිසිඳු අවස්ථාවක සිවිල් පාලන කටයුතු මෙහෙයවන්නේ නැති බවත් අවශ්‍ය වන්නේ විමර්ශන අංශ වලට ඔවුන්ගේ රාජකාරිය අකුරට සිදුකිරීමට සහයදෙමින් අවශ්‍ය පහසුකම් සැපයීම බවද සරත් ෆොන්සේකා අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍යවරයා හමුවේ සඳහන් කර ඇත.

තවද ආණ්ඩුවක අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේදී රටේ නීතියට යටත්ව සිදුකල යුතු බව තමන් දන්නා බවත් ඒ විනය මත තමන් අදටද කටයුතු කර ඇති බවද ෆොන්සේකා අමාත්‍යවරයා පවසා ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඒ අනුව මේ වන විට අදාළ සාකච්ඡාව පිළිබඳ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙත දැනුම්දී ඇති බවත් ඊට අදාලව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

මීට පෙර නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට ලබාදීම සම්බන්ධව එජාපය සහ ශ්‍රීලනිප පාර්ශව අතර එකිනෙකා වෙත චෝදනා එල්ල කරගත් තත්ත්වයක් මතුව තිබිණ.

ශ්‍රීලනිපයේ මත දෙකක්

එසේම අවසානයේ ශ්‍රීලනිප බහුතරයකගේ සහ භික්ෂුන් වහන්සේලා කිහිපනමකගේ බලපෑම හේතුවෙන් ෆොන්සේකා අමාත්‍යවරයා වෙත එම විෂය පැවරීම සම්බන්ධව පොදු එකඟතාවක් ඇතිකර ගන්නට දෙපාර්ශවය අසමත් විය.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට වෙනත් අමාත්‍යවරයෙකුට එම විෂය නොපවරා එම විෂය තාවකාලිකව ලබාගැනීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇත්තේද ඒ නිසාය.

ඇමති දුමින්ද වටින් ගොඩින් කිව්වේ SF ගැනද?

කෙසේ වුවත් මේ වන විට ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශවය සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට නීතිය හා සාමය අමාත්‍යංශය පැවරීමට එකඟව ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහට තාවකාලිකව ලබාදුන් නීතිය හා සාමය අමාත්‍ය ධුරය ඉදිරියේදී වෙනත් අයෙකුට පිරිනැමෙනු ඇති බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේ ඒ අනුව බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එහෙත් ශ්‍රීලනිප පාර්ශව අතර ඇතැමුන් අදාළ විෂය සරත් ෆොන්සේකා වෙත ලබාදීමට බරපතල විරෝධයක් දක්වා ඇති බැවින් තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති නමුත් මේ වන විට ජනාධිපති උපදේශකයන් පවා සරත් ෆොන්සේකා වෙත අදාළ විෂය පැවරීම නිර්දේශ කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

සුහද මාරුවකට නීතිය හා සාමය ශ්‍රීලනිපයට?

නීතිය හා සාමය අමාත්‍යංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයකුට ලබා ගැනීමට මේවන විට එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටී.

යහපාලන ආණ්ඩුව යටතේ නීතිය හා සාමය අමාත්‍යංශය හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.

ඊයේ (26) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේය.

ඇතැමුන් වරදවා වටහාගෙන ඇති බවත්, මෙය අමාත්‍යංශ පවරා ගැනීමක් නොව දෙපාර්ශවයේ එකඟතාවය අනුව ඇතිව සිදුකරන්නක් බවද ඔහු එහිදී අවධාරණය කළේය.


ජනාධිපති උපදේශකයන් SF අනුමත කරලා!

එහිදී 2015 ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් සහ ඉල්ලීමක් බවට පත්වූයේ රාජපක්ෂ රෙජීමයේ අයවලුන් විසින් සිදුකළ සොරකම් සහ අපරාධ සොයා එම අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවට වූ පොරොන්දුව බවත් එය නිසි ලෙස සිදුකිරීමට නීතිය හා සාමය අමාත්‍යංශය භාරව කටයුතු කළ සාගල රත්නායක කටයුතු නොකළ බවත් ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය ගිලිහී යෑමට එය ප්‍රධාන කාරණයක් බව එහිදී උපදේශකවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත.

එසේම නිතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සාගල රත්නායක රාජපක්ෂවරුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන අතර ගෙවී ගිය වසර තුනහමාර ඇතුලත ඔහු විසින් අල්ලන ලද හොරකු හෝ දඬුවම් කළ අයෙකු නොමැති බවත් එය ආණ්ඩුවට පමණක් නොව ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයාද අපකීර්තියට සහ ජනතාව අතර අවිශ්වාසයට ලක්වීමට හේතුවූ බවද ඔවුන් පෙන්වා දී ඇත.

SF එපා කියන අය මෛත්‍රී ගැන හිතනවාද ?

එසේම මේ මොහොතේ සරත් ෆොන්සේකාට එරෙහිව පෙනී සිටින සියළු පාර්ශව ජනාධිපතිවරයාගේ 2015 ජනවාරි 08 පොරොන්දු ඉටු කිරීමට නොහැකිවීම නොතකන බවත් එහෙත් ජනාධිපතිවරයා ඒ ගැන බරපතලව සලකා බැලිය යුතු බවද ඔවුන් සඳහන් කර ඇත.

ඇමති රාජිත නිල වශයෙන් දැනුම්දෙයි

මේ අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයාද තහවුරු කර සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය බාර ගත්තේ සති දෙකක කාලයක් සදහා බවත් ඉන් පසු එම අමාත්‍යධූරයට ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරන බවත්ය.

26 වනදා අමාත්‍යංශයේ පැවති හමුවකදී නිල අවශයෙන් රාජිත අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක්ද සඳහන්ව තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් උපුටා දක්වමින් එම නිවේදනයේ මෙසේද සඳහන්ව තිබේ. "සරත් ෆොන්සේකා මහතාගේ පත්වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකමැතියි. නමුත් පහළ ශ්‍රේණියේ නිලධාරීන් කැමැතියි. කෙළින් තීන්දු ගන්නා දක්ෂයන් අවශ්‍යයයි. ඩබල් ගේම් ගහන අය මෙම තනතුරට සුදුසු නැහැ. රණවිරුවන් ගැන කථා කරන අය පිළිගත යුතුයි සරත් ෆොන්සේකා මහතාත් රණවිරුවෙක් කියලා. අද මීනි මැරූ, කොල්ල කෑ පුද්ගලයින් ද රණවිරුවන් ලෙස නම් කර තිබෙනවා"

එසේම ලැබී ඇති තොරතුරු වලට අනුව වංචා හා දුෂණ විමර්ශන කඩිනම් කිරීම වෙනුවෙන් වන කොමිසමට පත්වන විට රාජිත අමාත්‍යවරයා ආණ්ඩුවේ ප්‍රධානීන් වෙතින් අදාළ විෂය සම්බන්ධ අමාත්‍යාංශය සරත් ෆොන්සේකා වෙත ලබාදෙන බවට තහවුරුවක් ගෙන ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

(News Tube ඇසුරිනි)

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.