113ක ඉලක්කයක් : රනිල්ට පක්ෂව ඊයේ අස්සන් 80 ක්.


අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පරාජය කරන බවට ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂය, ඔහුට සහාය පළ කරන මන්ත්‍රිවරුන් 113 දෙනකුගේ අස්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ඊයේ ආරම්භ කර තිබේ.

එම ලේඛනයට ඊයේ දිනය තුලදී එජාප මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පාර්ලිමේන්තුවේදී අත්සන් කර ඇති අතර විදෙස් ගතව සිටින මන්ත්‍රීවරුන් හා අද දිනයේදී පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රිවරුන් ඉදිරියේදී මෙයට අත්සන් කිරීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මෙම සහාය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ලබන 04 දා විවාදයට ගැනීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය පවසන්නේ එම යෝජනාව පරාජය කරන බවයි.

ශක්තිය පෙන්වීමට අවස්ථාවක්:

 පාර්ලිමේන්තුවේ සභානායක, ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසුවේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අසූවකට ආසන්න පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරමින් ඊයේ දිනයේම ලේඛනයකට අස්සන් කර තිබෙන බවයි.

තවත් හයදෙනකු අස්සන් කිරීමට නියමිත බවත් ඔවුන් විදේශගතව සිට පැමිණි පසුව මෙම ලේඛනයට අස්සන් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.

පක්‍ෂයක් විදියට එක්සත් ජාතික පෙරමුණට තම ශක්තිය පෙන්වීමට අවස්ථාවක් උදාවී තිබෙන බවත් මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් එම ශක්තිය පෙන්විය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ලක්‍ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර යන අමාත්‍යවරුන්ද මෙහිදී විශ්වාසභංග යෝජනාවට මුහුණදීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් නියෝජිතයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත් වුණේ ඊයේ (22දා) දහවල් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01දීය.

''විශ්වාස භංගයේදී අගමැති සමඟයි''- තෙවරප්පෙරුම

 බුලත්සිංහල එජාප සංවිධායක ධුරයෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය පරාජය කිරීම සඳහා අගමැති සමඟ හිටගන්නා බව සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවැසීය.

කුමන කලකිරීම් තිබුනද පක්ෂය අත නොහැර පක්ෂය රැකගැනීම සඳහා හැකි පමණින් දායකත්වය ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අගමැතිට තිබෙන හයිය පෙන්වන්න හොඳ අවස්ථාවක් - බාහු

ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගය හරහා පාර්ලිමේන්තුව තුළ තමාට ඇති බලය පෙන්වීමේ හැකියාව අගමැතිවරයාට ලැබෙන බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ වත්මන් පඬිවරයා ලෙස කටයුතු කරන විමල් වීරවංශ විසින් අගමැතිවරයාට එරෙහිව කෙතරම් චෝදනා කළද රනිල් වික්‍රමසිංහ යනු බටහිර බලවතුන් පසුපස දුවන පුද්ගලයකු නොවන බවද ඔහු සඳහන් කළේය.

පසුගිය දිනවලදී රට තුළ සිදු වූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටියේ විමල් වීරවංශගේ කණ්ඩායම බවද ඔහු සඳහන් කළේය.

'නිදහසේ වේදිකාව' පසුගියදා (20දා) මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ කරන දේවල් ?

 ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා එහිදී මෙසේද පැවසිය.

''දැන් ක්‍රියාත්මක කරන්න යන අධිකරණය වෙනස් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයෙන් ප්‍රබල නඩු විසඳුම් ඉක්මනින් ලබා දෙයි. ඒ අනුව දැන් ජාතිවාදය අවුස්සපු උදවිය, ඒ වගේම හොරකම් කරලා රටේ ධන නිධාන විනාශ කරපු උදවිය තමයි මූලික වශයෙන් මේවාට විරුද්ධ.

ඒ වගේම තමයි අද රටේ තියෙන ලොකුම දේ වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ එළවා දැමීමේ ව්‍යාපාරය. දැන් රනිල් එළවන්න ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගයක් ගෙනැල්ලා තියෙනවා. විමල් වීරවංශ කියලා තියෙනවා 'අගමැතිට එරෙහි විශ්වාසභංගයට 118කටත් වැඩියෙන් ඡන්ද ලැබෙනවා. බටහිර න්‍යාය පත්‍රය අවලංගු කරන්න නම් අගමැති එළවිය යුතුයි' කියලා.

මම නම් හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මේ විශ්වාසභංගයට කැමැති ඇති. ඒකෙන් අගමැතිට පුළුවන් වෙනවා ඔහුට කොතරම් හයියක් පාර්ලිමේන්තුවේ තියෙනවාද කියලා පෙන්වන්න. ඒක චෙක් කර ගන්න මේ විශ්වාසභංගය ඔහුට ලැබුණු හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා.

පසුගිය දවස්වල මේ රටේ ඇතිවුණු කලබලකාරී සිදුවීම් පිටුපස්සේ ඉන්නේ කවුද කියලා බැලුවොත් විමල් වීරවංශලාගේ කණ්ඩායම තමයි ඒක පිටිපස්සේ ඉන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ කරන දේවල් තමයි මේ අය මේ රටේ කරන්නේ.


අපේ රටේ මේ තියෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කරලා සෑම ජනකොටසකටම පිළිගන්න පුළුවන් සාධාරණ ව්‍යවස්ථාවක් හදා ගැනීම කියන එක බටහිරින් එන එකක් නෙවෙයි. ලෝකයේ වැඩ කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගෙන් එන එකක්.''

Info Sri Lanka TV

Powered by Blogger.