වඳ පෙත්ත මුසාවක් ද?


"පෙති" මිශ්‍ර කර වඳ භාවයට පත් කරන බවට පවතින මතයේ කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නොමැති බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් පිරිසක් පෙන්වා දෙති.

"සැකෙවින් කිවහොත් කිසියම් ජන කණ්ඩායමක හෝ ජනවර්ගයක සරුබවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති අතර එසේ කළ බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව ද අපි අවධාරණය කරන්නෙමු" යනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියයකට අධික ප්‍රවීණයන් පිරිසක් විසින් බ්‍රහස්පතින්දා (මාර්තු 15) නිකුත් කරන්න ලද නිවේදනයක දැක්වේ.

ඔවුන් නිකුත් කළ පැහැදිලි කිරීම පහත පරිදිය. 

------------------------

ඖෂධ පෙති මගින් නිසරුබව ඇති කළ හැකිද? 

අපි ශ්‍රී ලංකාවෙහි සෞඛ්‍ය සේවයෙහි නියුතු ජ්‍යෙෂ්ඨ ‍වෛද්‍යවරු පිරිසක් වෙමු. 

ආහාර සමග වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජය තුළ ඇතිව තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක් බව අපි සිතමු. මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති අසත්‍ය ප්‍රකාශයක් බව අපි වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. 

ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මගින් කණ්ඩායමක් හෝ ජනවර්ගයක් වඳ බවට පත් කිරීම කිසිසේත් කළ නොහැකි බවද අවධාරණය කරමු. 

ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ සරු බවට එනම් දරු ගැබක් පිහිටීමට බලපාන කරුණු රාශියක් තිබේ.

පුරුෂයකු ගේ සරුබව සඳහා ඔහුගේ ශුක්‍රාණුවල නිසි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය මෙන්ම ප්‍රශස්ත සංඛ්‍යාවෙන් ශුක්‍ර තරලයේ තිබීම අත්‍යවශ්‍ය වේ. මේවායින් තරමක හෝ අඩුවක් ඇති අවස්ථාවක පුරුෂයක හට කාන්තාවක් ගැබ් ගැන්වීමට ඇති හැකියාව අඩු වේ.  

මෙය මදසරුබව යනුවෙන් හඳන්වනු ලබන අතර කලාතුරකින් එය දරුපල නොමැති එනම් වඳ තත්වයක් දක්වා වර්ධනය විය හැක.  

මෙවැනි කරුණු ස්ත්‍රියකගේ සරුබවටද බලපායි. 

දැනට පාවිච්චිය සඳහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිචිචිය සඳහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබ් ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි. පුරුෂයකුගේ තාවකාලික වඳබවක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත. 

ඇතැම් රෝගවලට දීර්ඝකාලීනව භාවිතා කරන ඖෂධ හේතුවෙන් මදසරු බව ඇති වීමට ඉඩක් තිබුණද එම ඖෂධ තනි මාත්‍රාවක් හෝ මාත්‍රා කිහිපයක් පාවිච්චියෙන් එවන් තත්වයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැත. ඖෂධ මගින් ඇති වන මද සරුබව එම ඖෂධ භාවිතය නැවැත්වූ විට යථා තත්වයට පත් වේ. 

මේ ඖෂධ ලබා ගැනීම සඳහා ලියාපදිංචි බටහිර වෛද්‍යවරයකුගේ බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් කිරීම අතවශ්‍ය වේ.  

සැකෙවින් කිවහොත් කිසියම් ජන කණ්ඩායමක හෝ ජනවර්ගයක සරුබවට සැලකිය යුතු බලපෑමක් ඇතිකළ හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති අතර එසේ කළ බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක්ද නොමැති බවද අපි අවධාරණය කර සිටිමු.

------------------------


මෙම මාධ්‍ය හමුවේ සුවිශේෂීතාවය වුයේ මෙම වෛද්‍යවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී අදහස් පළ කිරීම හේතුවෙනි. 

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මෙහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කලේ පුරුෂයන් වෙනුවෙන් නිර්මාණය කල කිසිදු උපත් පාලන ඖෂධයක් තවමත් සොයා ගෙන නොමැති බවයි. එසේම පුරුෂයන් වෙනුවෙන් උපත් පාලන ඖෂධයක් නිපදවීම වෙනුවෙන් වසර 30 සිට වෛද්‍ය විද්‍යාඥයින් පරීක්ෂණ  කල ද තවමත් එවැනි ඖෂධයක් නිෂ්පාදනය කර ගැනීමට අපොහොසත් වී ඇති බව ද වෛද්‍ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේය. 

මෙහිදී මාධ්‍යවේදියෙක් යොමු කල පැනයකට පිළිතුරු දෙමින් වෛද්‍ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කලේ ඇඳුම් අයිතම හෝ තනපට වල ‘ජෙල්’ හෝ කිසියම් රසායනික ද්‍රවයක් යොදා වඳභාවයට පත් කිරීමට නොහැකි බව 100% තහවුරු කර හැකි බවයි. එසේම ස්ත්‍රීන්ගේ ලිංගික උත්තේජනය අඩු කිරීමට හෝ වැඩිකිරීමට මෙම ක්‍රමවේදයන් තුලින් නොහැකි බව ද ඒ මහතා තහවුරු කර සිටියේ ය. 

කායික රෝග විශේඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ඉදිරියේ දී මතුවන කාලීන ගැටළු සම්බන්ධයෙන් ඉක්මන් ප්‍රතිචාර දැක්වීමටත්, මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන ඉදිරියට ගෙන යාමටත් මාධ්‍ය වෙත පොරොන්දු විය. 

මෙම මාධ්‍ය හමුව සිංහල, ඉංග්‍රීසි සහ දෙමල යන භාෂා ත්‍රිත්වයෙන් ම පැවතී අතර ප්‍රජනන වෙද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, කායික රෝග විශේඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, විශේඥ වෛද්‍ය ජේෂ්ඨ කථිකාචාර්ය පණ්ඩුක කරුණානායක, ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය චාන්දනී වනිගතුංග , ළමා රෝග විශේඥ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ශලිනි ශ්‍රී රංගනාදන් ඇතුළු ජේෂ්ඨ වෛද්‍යවරුන් රැසක් ම මෙහිදී අදහස් දැක්වූහ.

මෙහි පහත නම් සදහන් අපි ස්වේච්ඡාවෙන් මෙම කරුණු දැක්වීමට ඉදිරිපත්වූ ඔබත් මේ සදහා වූ සියළු වියදම් අප විසින් දරන ලද බවත්  ප්‍රකාශ කර සිටිමු.


මේ අතර ප්‍රජනන අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින වැරදි තොරතුරු අම්පාර සිදුවීමට හේතු වී ඇති බව ඒ පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහන් කර තිබිණි.

"මිනිසුන් ස්ථීරව වන්ධ්‍යාකරණයට ලක් කළ හැකි දැනට දන්නා හෝ සොයා ගත හැකි හෝ බෙහෙතක් හෝ පෙත්තක් නැත. ආහාරවලට මිශ්‍ර කළ හැකි වඳ පෙති පිළිබඳ තිබෙන අදහස බොරුවක් වන අතර වෛද්‍ය විද්‍යාත්මකව හා විද්‍යාත්මකව එසේ සිදු කළ නොහැක," යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය ආචාර්ය රුසියා පෙන්ඩ්සේ පවසා තිබේ.


පාකිස්තානය

වෙනත් ජන කොට්ඨාසයක් හෝ ආගමික ප්‍රජාවක් සිය ජන වර්ගය වඳ කිරීමට හෝ ආගමික දර්ශනය විනාශ කිරීමට කුමන්ත්‍රණ කරන බවට පවතින මත ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්ත්වයක් නොවේ.

පාකිස්තානය තුළ පෝලියෝ උවදුර තුරන් කිරීම සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන්වල නිරත සෞඛ්‍ය සේවකයන් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවල ගොදුරු බවට පත්වීම ඊට උදාහරණ වශයෙන් දැක්විය හැක.

පෝලියෝ එන්නත් ලබා දීම මගින් පාකිස්තාන් දරුවන් වඳ භාවයට පත් කිරීමට බටහිර රටවල් කටයුතු කරන බවට තාලිබාන් සංවිධානය ඇතුළු ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් චෝදනා කරති.

"වඳ පෙති" සහ යට ඇඳුම්

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ප්‍රජාව "වඳ කිරීම" සඳහා ඇතැම් මුස්ලිම් කණ්ඩායම් කටයුතු කරන බවට සිංහල බෞද්ධ දැඩි මතධාරී කණ්ඩායම් අතර ද එවැනිම මතයක් පවතී.

මුස්ලිම් ජනගහනය ඉහළ නැංවීමේ අරමුණින් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් එසේ කරන බවට දැඩි මතධාරී සිංහල බෞද්ධ කණ්ඩායම් චෝදනා කරති.

මුස්ලිම්වරුන්ට අයත් ආපන ශාලා විසින් ආහාරවලට "වඳ පෙති" එක් කරනු ලබන බව සහ මුස්ලිම්වරුන්ට අයත් නිමි ඇඳුම් වෙළෙඳසල්වල අලෙවි කරන කාන්තා යට ඇඳුම්වල "වඳ භාවයට" පත් කළ හැකි රසායන ගල්වා ඇති බව දැක්වෙන ඡායාරූප සහ අදහස් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ දක්නට ලැබේ.



"සිංහල ජාතිය වඳ කිරීමේ" කුමන්ත්‍රණයක් දියත් වන බව සඳහන් ඉහත කී ඡායාරූපය ඒ සඳහා එක් උදාහරණයකි. එම ඡායාරූපය 'ෆේස්බුක්' සමාජ ජාලයේ හුවමාරු (Share) කර ඇති පිරිස 8,000 අධිකය.

ආහාරවලට "වඳ පෙති" එක් කිරීමේ මතය හුවාදක්වන ආසන්නතම සිදුවීම ලෙස පසුගිය පෙබරවාරි 26 වෙනිදා අම්පාර නගරයේ ආපන ශාලාවක් මුල් කර ගනිමින් සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනය දැක්විය හැක.

එසේම මුස්ලිම් ජනගහනය ඉහළ යන බව පෙන්වීම සඳහා සිංහල බෞද්ධ දැඩි මතධාරී කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන තවත් මත කීපයක් පහත දැක්වේ.

  1. සිංහල බෞද්ධ පවුල් හා සැසඳීමේ දී මුස්ලිම් පවුල්වල සාමාජිකයන් වැඩි වශයෙන් සිටින බව
  2. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනගහනය වේගයෙන් ඉහළ යන බව
  3. මුස්ලිම් පුරුෂයන්ට කාන්තාවන් සිව් දෙනෙකු සමග විවාහ වීමට හැකි බව
  4. සමස්තයක් වශයෙන් ලොව පුරා මුස්ලිම් ජනගහනය ඉහළ යන බව

ජන සංයුතියේ සැලකිය යුතු වෙනසක් සිදුවී ඇත්ද?

ශ්‍රී ලංකාවේ පළමු වරට ජන සංගණනයක් පවත්වන ලද 1871 වසරේ පටන් ආගමික ප්‍රජාවන් පිළිබඳ දත්ත එක්රැස් කර තිබේ.


ශ්‍රී ලංකාව තුළ වෙසෙන ආගමික ප්‍රජාවන්




ශ්‍රී ලංකා ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව:

1981 වසරේ දී සමස්ත ජනගහනයෙන් 69.3% බෞද්ධ ප්‍රජාව නියෝජනය කර ඇති අතර 2012 වනවිට එම ප්‍රතිශතය 70.1% දක්වා ඉහළ ගොස් ඇත

1981 වසරේ දී සමස්ත ජනගහනයෙන් 7.5% මුස්ලිම් ප්‍රජාව නියෝජනය කර ඇති අතර 2012 වනවිට එම ප්‍රතිශතය 9.7% දක්වා ඉහළ ගොස් ඇත

සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනගහනය ඉහළ ගොස් ඇතත් පසුගිය කාලය දෙස බැලීමේදී මුස්ලිම් ප්‍රජාවේ සුවිශේෂී වර්ධනයක් දැකිය නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් පවසයි.

මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි රටක ජනගහනය සඳහා බලපාන විවාහය සහ දරුවන් බිහි කිරීම යන සමාජීය කරුණු දෙස බැලීමේදී සිංහල සහ මුස්ලිම් ප්‍රජා අතර පවතින වෙනස්කම් පහත දැක්වේ.

  1. සිංහල ප්‍රජාව හා සැසඳීමේදී මුස්ලිම් කාන්තාවන් අඩු වයසින් විවාහ වීමේ නැඹුරුවක් පැවතීම
  2. මුස්ලිම් ප්‍රජාව හා සැසඳීමේදී සිංහල කාන්තාවන් ඉහළ අධ්‍යාපනය සඳහා දක්වන උනන්දුව වැඩිවීම තුළ ඔවුන් විවාහ වීමේ වයස් සීමාවේ සාමාන්‍යය අවුරුදු 32 දක්වා ඉහළ ගොස් ඇති බව මෑත කළ පරීක්ෂණවලින් හෙළිවී ඇත
  3. අඩු වයසින් විවාහවන කාන්තාවන් හා සැසඳීමේදී වයස තිහ ඉක්මවා විවාහ වන කාන්තාවන්ගේ සාඵල්‍යතාව (සජීව වශයෙන් උපත ලබන දරුවන් සංඛ්‍යාව) අඩු බව මහාචාර්ය මයුර සමරකෝන් පෙන්වා දෙයි.

ජන සංයුතිය සහ ඒ හා සම්බන්ධ සමාජීය කරුණු පිළිබඳ පවතින සැබෑ තත්ත්වය තේරුම් නොගෙන "කුල්මත් කරන්නා වූ ව්‍යාජ සටන් පාඨවලින්" සමාජය පිරී පවතින බව කී මහාචාර්ය මයුර සමරකෝන් "ඒක නිසා තමයි දීර්ඝකාලීන වශයෙන් අපි අසංවර්ධිත රාජ්‍යයක් වශයෙන් පෙනී සිටින්නේ. අපේ රටේ අසමත්භාවයට ප්‍රධානම හේතුව තමයි මේ වගේ දුර්වල සටන් පාඨ" යනුවෙන් පැවසීය.

(BBC සහ රැස පුවත්පත ඇසුරිනි)

Latest Video

Powered by Blogger.