Ad

යහපාලනය වැඩ පෙන්නයි : මහබැංකු වාර්තාව නොකී කතාව.


2017 වසරට අදාළ මහබැංකු වාර්තාව මේ වන විට නිකුත් වී ඇති අතර, පුවත්පත් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා මහබැංකුව දක්වන තොරතුරුවලට අනුව ඉතා වැදගත් කරුණු කිහිපයක් එයින් අනාවරණය වේ.

එයින් එකක් වන්නේ 2017 වසරේ එනම්, 2017 ජනවාරි මාසයේ සිට 2017 පෙබරවාරි මාසය දක්වා අපනයනය ආදායම, වසර 3 ක ඉතිහාසයේ උපරිමය වාර්තා කරන බවයි.

තවද විදේශ සංචිතවල වටිනාකම ගතවූ වසරේදී ඩොලර් බිලියන 8 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පෙර වසරේ පැවති අගය වන ඩොලර් බිලියන 6 ට සාපේක්ෂව 25% ක ඉහළ යාමකි.

එසේම ශ්‍රී ලංකාව පසුගිය වසරේදී මාසික අපනයන ආදායම ඩොලර් බිලියන 1 ඉක්මවා ඇත. මෙම සීමාව, මාස 5 කදී ඉක්මවා ගොස් ඇති බව ද මහබැංකු වාර්තාවෙන් පෙනී යයි.

මහබැංකු වාර්තාවට අනුව මෙසේ ප්‍රධාන වශයෙන්ම ආර්ථික සංවර්ධනය ඉහළ යාමට හේතු වී තිබෙන්නේ මූල්‍ය ගිණුම්වල BOP (Balance of Payments) හෙවත් ගෙවීම් ශේෂයන් ඉහළ යාමයි. සංචාරක කර්මාන්තයෙන් ලද ඉපැයීම් ඉහළ යාම සහ විදෙස්ගත කම්කරුවන්ගේ මුදල් ප්‍රේෂණවලින් ලබන ආදායම මේ සඳහා සෘජුවම බලපා ඇත. ඒ අනුව 2017 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 2068 ක ගෙවීම් ශේෂයක් වාර්තා වේ.

වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට (Performance of Merchandise Exports)



2017 වසරේ පස්වැනි වතාවටත් මාසික වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය දෙසැම්බරයේ ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවා ගියේය. විශේෂයෙන්ම 2017 මැයි මාසයේ ජීඑස්පී ප්ලස් සහනය සඳහා නැවත ලියාපදිංචි වීමත් සමග දෙසැම්බර් මාසය වන විට යුරෝපා සංගමය වෙත ඇඟලුම් අපනයනයෙන් ලබාගන්නා ආදායම උපරිමයක් දක්වා වැඩි වී තිබේ. 2016 වසරට සාපේක්ෂව එම ප්‍රමාණය 27.2% ක වැඩිවීමකි. ඇමරිකාව හා සෙසු රටවල් වෙත සිදුකරනු ලබන ඇඟලුම් අපනයනවලින් ලද ආදායම ද දෙසැම්බර් මාසයේදී 18%කින් ඉහළ ගොස් තිබේ.

පොදුවේ ගත් කල 2017 වසරේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 11.4 ක ඓතිහාසික වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම උපකාරී වී තිබෙන්නේ තේ, ඇඟලුම්, රෙදිපිළි සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අපනයන් ය. අතිරේක වශයෙන්, කුළුබඩු සහ මුහුදු ආහාර අපනයනය ද සැලකිය යුතු දායකත්වයක් මේ ඉහළ යාම සඳහා ලබාදී ඇත.

මේ අතර මැණික්, දියමන්ති, ආභරණ, සම් නිෂ්පාදන, සංචාරක භාණ්ඩ, පාවහන් සහ පොල් නිෂ්පාදනවලින් ලද අපනයන ආදායම් පසුගිය වසරේ පහළ ගොස් තිබේ.

2017 වසරේ ලංකාවේ වාණිජ භාණ්ඩ සඳහා හොඳම අපනයන නිෂ්පාදන ගැනුම්කරුවන් පස්දෙනා බවට පත්ව තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය (25.6%), එක්සත් රාජධානිය (9.1%), ඉන්දියාව (6.1%), ජර්මනිය (4.7%) සහ ඉතාලිය (4.7%) යි. මෙම රටවල් 5 විසින් රටේ සමස්ත වෙළඳ භාණ්ඩ අපනයන ආදායමෙන් 50%කට වගකියා ඇත.

වෙළඳ භාණ්ඩ ආනයනය ඉහළට (Performance of Merchandise Imports)


වෙළඳ භාණ්ඩ ආනයනය ද ඉතිහාසයේ පළමු වතාවට 2017 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 2 ක සීමාව ඉක්මවා ගොස් ඇත. තෙල් මිල ඉහළ යාම මෙයට බෙහෙවින් දායක වී ඇති අතර, වැඩි වශයෙන්ම ආනයනය කළ වෙළඳ භාණ්ඩ අතර ඉදිරියෙන්ම සිටින්නේ පිරිපහදු කළ ඛණිජ තෙල් සහ ගල් අඟුරු ය. යකඩ සහ වානේ ආනයනය ඉහළ යාම හේතුවෙන් බැර නොවන ලෝහ ආනයන වෙළඳපොළ ද විශාල වර්ධනයක් පෙන්වයි.

මේ අතර දේශීය වෙළඳපොළේ පැවති සහල් හිඟය මගහරවා ගැනීම සඳහා සහල් පිටරටින් ආනයනය කිරීම හේතුවෙන්, සහල්වල ආනයන මිලේ අඩුවීමක් පැවතිය ද එම වෙළඳපොළ 2017 දෙසැම්බර් මාසයේ සැලකිය යුතු අන්දමින් ප්‍රසාරණය වී තිබේ.

එසේම දෙසැම්බර් මාසයේදී රන් භාණ්ඩ අපනයනයේ සැලකිය යුතු වැඩිවීමක් ද මහබැංකු වාර්තාවෙන් පෙන්නුම් කරයි. 2018 අයවැය මගින් විදුලි බලයෙන් ක්‍රියාකරන වාහනවලට බදු සහනය ලබාදීමෙන් අනතුරුව දෙසැම්බර් මාසයේදී එම වාහන ගෙන්වීමද ඉහළ ගොස් තිබේ.

සමස්තයක් වශයෙන් ගත්විට ආනයනය වියදම මේ අනුව 2017 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 21 ක ඉතිහාසගත අගයක් පෙන්නුම් කරයි. ඉන්ධන හා සහල් පිටරටින් ගෙන්වීම මේ සඳහා වැඩිම දායකත්වයක් ලබා දී තිබේ. සාපේක්ෂව බලන විට යාන්ත්‍රික උපකරණ, සීනි, කුළුබඩු සහ පොහොර ආනයන වෙළඳපොළේ අඩුවීමක් 2017 වසරේදී දැකගත හැකිය.

ලංකාවේ ඉදිරියෙන්ම සිටින ආනයනය භාණ්ඩ සැපයුම්කරුවන් බවට මේ අනුව 2017 වසරේදී පත්වන්නේ ඉන්දියාව (21.4%), චීනය (18.8%), එක්සත් අරාබි එමීර් (7.5%), සිංගප්පූරුව (6.3%) සහ ජපානය (5.0%) යි. මෙම රටවල් 5 විසින් 2017 වසරේ ලංකාවේ ආනයන වියදම්වලින් 59%කට වගකියා ඇත.

සංචාරක කර්මාන්තය සහ ප්‍රේෂණ ආදායම ඉහළට


වාණිජ භාණ්ඩ අපනයනයේදී රටේ බාහිර ජංගම ගිණුමට ප්‍රධානතම ආවර්තනයන් (inflows) ලබාදී තිබෙන්නේ සංචාරක කර්මාන්තය සහ විදෙස් ගත කම්කරුවන්ගෙන් ලද මුදල් ප්‍රේෂණ ආදායමයි. දෙසැම්බර් මාසය වන විට වැඩිම සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණීම වාර්තා වූ අතර, එයින් ලද ආදායම ඇ.ඩො. මිලියන 419.5 දක්වා ඉහළ ගියේය. සමස්ත සංචාරක පැමිණීම්වලින් 51.2% ක් වාර්තා වන්නේ ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශයෙනි.

මේ අතර, භූ දේශපාලන අස්ථාවරත්වයන් හමුවේ විදෙස් ගත ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රේෂණවලින් ලත් ආදායම 2017 වසරේදී 1.1%කින් අඩු වුවද එමගින් ඇ.ඩො. 7164ක ආදායමක් ලැබීමට පසුගිය වසරේ ලංකාව සමත් වී තිබේ.

රුපියල අවප්‍රමාණ වීම


කෙසේ නමුත් මේ අතර රුපියල අවප්‍රමාණ වීම දිගින් දිගටම සිදුවී ඇති බව ද මහබැංකු වාර්තාව පෙන්වා දෙයි. 2017 වසරේදී රුපියල 2.0%කින් අවප්‍රමාණය වී තිබේ. 2018 වසරේ පෙබරවාරි 21 වැනිදා වන විට එය ඇමරිකානු ඩොලරයට එරෙහිව තවදුරටත් 1.6%කින් අවප්‍රමාණය වී තිබේ. ලෝකයේ ප්‍රධාන මූල්‍ය ඒකකවලට එරෙහිව ද රුපියල තවදුරටත් අවප්‍රමාණය වූ ආකාරය මහබැංකු වාර්තාව මේ අන්දමින් ප්‍රස්ථාරගත කර දක්වයි.

නොකී කතාව

2017 වසර යනු දැඩි දේශපාලන පසුබෑම්, හැලහැප්පීම් සහ මහබැංකු බැඳුම්කර ගැටළුව වැනි ආන්දෝලානත්මක සිදුවීම් මධ්‍යයේ යහපාලන ආණ්ඩුව ගෙවා දැමූ 3 වැනි වර්ෂයයි. පසුබෑම් පෙන්වමින් වුවද සමස්තයක් වශයෙන් ගත් කල රටේ ආර්ථිකයේ ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු ව ඇති බව මහබැංකු වාර්තාව අනුව පෙනේ. ලංකාව වැනි රටක ආර්ථිකයට එකවර මැජික් පෙන්විය නොහැකි බව අපි දනිමු. ඉහත කී ධනාත්මක ලක්ෂණවලට සෙසු මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් නොලැබෙනු ඇත. වරද සහ අඩුපාඩුම උළුප්පා දැක්වීම මේ වන විට රටේ මාධ්‍ය සම්ප්‍රදාය බවට පත්ව ඇති නිසා ය. ඒ තරමටම, සුබවාදී හෝ ධනාත්මක ප්‍රවණතාවන් සම්බන්ධ තොරතුරු ද දැන ගැනීමට රටේ ජනතාවට අයිතියක් ඇති බව මේ සමගම මාධ්‍ය අමතක නොකළ යුතුය. නිගමනයක් වශයෙන් අපට නම් පෙනී යන්නේ ‘දේශපාලන ජරමර අස්සේත් යහපාලනය වැඩ පෙන්වා ඇති’ බව ය.

(අමාලි ජයවීර)

No comments:

Powered by Blogger.