හකීම් එජාපයට අනතුරු අගවයි : මනෝ ගනේෂන් - දිගම්බරම් ගැටුමක.


පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර එක්‌සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සමඟ ඇතිකර ගන්නා ලද එකඟතාවන් අනුව ක්‍රියා නොකර විශ්වාසය කඩකිරීම් දිගටම සිදු කරන්නේ නම් ඊට දේශපාලනික වශයෙන් නිසි පිළිතුරු ලබාදීමට තමන් පසුබට නොවන බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක සහ ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පැවැසීය. 

හෙතෙම මෙම අනතුරු ඇඟවීම කළේ පෙරේදා (24 දා) සිය පක්‍ෂ මූලස්‌ථානය වන දරුසලම්හිදී (සාම මන්දිරය) මුස්‌ලිම් කොංග්‍රසයයේ පැවති මන්ත්‍රීධුර ලැබූ සභිකයින්ගේ දිවුරුම් දීමේ අවස්‌ථාවේදීය.

මනෝ - දිගම්බරම් ගැටුම

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී සහය දීම සම්බන්ධයෙන් වතුකර පක්ෂ ගණනාවක් නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ බරපතළ බෙදීමක් හටගෙන ඇත.

එම සන්ධානයේ හවුල්කාර පක්ෂ තුනේ නායකයන් මේ ගැන මත දෙකක් දැරීම නිසා අර්බුදය හටගෙන තිබේ. සන්ධානයේ එක් පක්ෂ නායකයකු වන මනෝ ගනේෂන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බව ප්‍රකාශ කර ඇත. එහෙත් සන්ධානයේ සෙසු පක්ෂ නායකයින් දෙදෙනා වන එස්. රාධාක්‍රිෂ්ණන් හා පී. දිගම්බරම් යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයට පක්ෂ වීම අසීරු බව සඳහන් කිරීම හේතුවෙන් දෙපක්ෂය අතර වාග් සටනක් හටගෙන ඇතැයි කියැවේ. කෙසේ වෙතත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීන් විශ්වාසභංග යෝජනාවේදී සිය පක්ෂවල අභිමතය අනුව බෙදී ඡන්දය දීමට ඉඩ ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ මන්ත්‍රීන් සංඛ්‍යාව 5කි.

Info Sri Lanka TV

Powered by Blogger.