අගමැතිට ඔත්තු දුන්නැයි කියා ජනාධිපති ලේකම් ගෙදර යවන ලකුණු?


පසුගිය කැබිනට් සංශෝධනයේදී අලුතින් පත් කෙරුණු අමාත්‍ය තනතුරුවලට අදාළ ගැසට් නිවේදනය තවමත් නිකුත් කෙරී නැත. මාස එක හමාරක පමණ කාලයක් තිස්සේ මෙය පමා වුණේ ශ්‍රී ලංකා මහබැංකුව අගමැතිවරයාගෙන් ඉවත් කර යළි මුදල් අමාත්‍යාංශය යටතට පැවරීමේ වුවමනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තිබුණු නිසාය. 

මහබැංකුව අග්‍රාමාත්‍යවරයාගෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාට මීට පෙර දැනුම් දී තිබුණ ද එය ඉටුවී තිබුණේ නැත. එහෙයින් පාකිස්ථානු සංචාරය නිමවා දිවයිනට පැමිණි ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්ගෙන් විමසා තිබුණේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරී නැත්තේ මන්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ අත්සන නොමැතිව එය කළ නොහැකි බවටය. ඒ අනුව අදාළ ලේඛන ජනාධිපතිවරයා විසින් අත්සන් තබා ජනාධිපති ලේකම්වරයාට ලබා දී ඇත.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ගෙන ඇති ඔස්ටින් ප්‍රනාන්දු මහතා මහබැංකුව අගමැතිවරයාගෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශය යටතට පැවරීම සඳහා ජනාධිපතිවරයා නියෝග කර ඇති බවත් තමන් මෙතෙක් එය ප්‍රමාද කළ නමුත් දැන් ජනාධිපතිවරයා විසින් ලේඛන අත්සන් තබා ඇති නිසා තමන්ට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සිදුවන බවත් පවසා ඇත.

මෙයින් කලබලයට පත්වී ඇති අග්‍රාමාත්‍යවරයා (26) රාත්‍රියේම මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ද කැටුව ජනාධිපතිවරයා හමුවීමට පැමිණ ඇත. මහබැංකුව තමාගෙන් ඉවත් කරන්නේ මන්ද යන්න පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී ඇතිවූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මහබැංකුව අග්‍රාමාත්‍යවරයාගෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශයට පැවරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම තාවකාලිකව නවත්වා ඇත. එය එසේ නැවතී ඇත්තේ තාවකාලිකව පමණක් වන අතර ඉදිරි පැය විසි හතර තුළ බොහෝදුරට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරෙණු ඇත.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුවන්නේ දැඩි කේන්තියෙන් බව වාර්තා වේ. ගැසට් නිවේදනය නිකුත් කරනවා වෙනුවට අග්‍රාමාත්‍යවරයාට දුරකථනයෙන් අමතා කරුණු දැනුම්දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගෙන් වග උත්තර විමසීමට නියමිතව ඇත.

ඔස්ටින් ප්‍රනාන්දු යනු 2001 - 2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ය. ජනාධිපතිවරයාට ඔහු ලේකම් තනතුරට පත් කරගනිද්දී අමතක වී ඇත්තේ ඔස්ටින් ප්‍රනාන්දු යනු හොඳ යූඑන්පී කාරයකු කියාය.

(Lanka News Web)

Latest Video

Powered by Blogger.