උදයංග අබුඩාබි පොලිස් අත්අඩංගුවේ.

රුසියාවේ හිටපු තානාපති සහ මිග් යානා ගනු දෙනුවේ ප්‍රධාන සැකකරුවකු බව කියන උදයංග වීරතුංග මහතා ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට අබුඩාබිහි පොලිස් ආරක්ෂාව මත රඳවාගෙන සිටින බව රජය තහවුරු කරයි. මේ වනවිටත් ඔහු මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු මුල්‍ය අපරාධ කොට්ඨාසය හා සෙසු ආයතනත්, ජාත්‍යන්තර පොලිසියත් එක්ව සාකච්ඡා මට්ටමින් කටයුතු කරගෙන යන බවට තොරතුරු හෙළි වෙයි.

2006 වසරේ සිදුවූ මිග් යානා ගනුදෙනුවේ පරීක්ෂණ ආරම්භවීමත් සමග උදයංග වීරතුංග මහතා මෙරටින් විදෙස් රටකට පලාගොස් සිටි අතර ඔහු වෙනුවෙන් අධිකරණය විවෘත වරෙන්තු නිල් නිවේදන සහ රතු නිවේදන ද නිකුත්කර තිබුණි.

එහෙත් මොහු ඒවා සියල්ල නොසලකා හැර සිටියදී ඩුබායි පොලිසිය ඔහු මීට පෙර අවස්ථාවක අත්අඩංගුවට ගත්ත ද ඔහු මෙරටට භාර නොදී නිදහස් කර තිබුණි.

මෙරටින් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කර තිබූ නිසා ඔහුට ඩුබායි සිට නීත්‍යානුකූලව වෙනත් රටකට යාමට නොහැකිව ඩුබායි රටේම සිටිය දී මෙරට පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ඉල්ලා තිබුණි.

දෙරටේ බුද්ධි අංශවල මෙහෙයුමකින් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි සිට කි‍ලෝමීටර් 80ක් ඈතින් පිහිටි උදයංග වීරතුංග පදිංචි නිවෙස් පරීක්ෂා කළ ද ඔහු ඒ ස්ථානවලින් පලාගොස් සිටි අතර පසුගිය සති කිහිපය පුරාම ඩුබායි පොලිසිය උදයංග සොයා විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අතර ඩුබායි පොලිසිය පෙරේදා ඩුබායි හෝටලයක රැඳී සිටි උදයංග වීරතුංග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මුල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මගින් ලබාගත් වරෙන්තුවක් මත ලබාගත් රතු නිවේදනයක් මගින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇත.

වීරතුංග මහතාට මුදල් විශුද්ධිකරණය, සාපරාධී මුදල් පරිහරණය මහජන මුදල් අවභාවිතාව ආදී චෝදනා රාශියක් විරුද්ධව ඉදිරිපත්ව ඇත.

රජයේ ඉහළ මට්ටමින් මේ වන විට සාකච්ඡා පවත්වාගෙන යනු ඇත්තේ ඔහු නීත්‍යානුකූල ක්‍රමවේදයක් මගින් ලංකාවට ගෙන්වා ගැනීමටය.

අනතුරුව ඔහුට විරුද්ධව ඇති චෝදනාවලට ස්වාධීන හා අපක්ෂපාතී අධිකරණ ක්‍රියාදාමයක් තුළ පිළිතුරු ලබා දිය හැකි වනු ඇත.

Latest Video

Powered by Blogger.