ජේසු සමිඳුන් කුරුසිය මත දිවි පූජා කළ මහ සිකුරාදා අද.


දෙව්පුත් කිතු සමිඳාණන් මිනිසා පවින් මුදාගැනීම උදෙසා කුරුසිය මත සිය දිවි පූජා කළ මහ සිකුරාදා එනම් අද ලෝපුරා සිටින කිතුනු බැතිමත්හු භක්තිපූර්වකව සිහිපත් කරති.

පසුගිය ඉරිදා එනම් ගොබ් ඉරිදා කිතු සමිඳු ජයග්‍රාහි ලෙස ජෙරුසලමට ඇතුළුවීම සිහිපත් කරමින් ශුද්ධ වූ සතිය ආරම්භ කළ අතර ඊයේ එනම් මහ බ්‍රහස්පතින්දා සිහිපත් කළේ කිතු සමිඳාණන් සිය ගෝලයන් දොළොස්දෙනා සමඟ අවසන් රාත්‍රි භෝජනය වැළැඳූ අවස්ථාව විශේෂිත දේව මෙහෙයක් මඟිනි.

උන්වහන්සේ එදින රෑ පහන් කළේ ජෙත්සෙමනි උයනේ යාච්ඤාවේ යෙදෙමිනි. අලුයම් කාලයේ සිය ගෝලයකුගේම පාවාදීමෙන් අල්ලාගනු ලැබ කුරුසිය කර මත තබා කල්වාරි කඳු මුදුනට ගිය දුෂ්කර ගමනක් අවසානයේ කුරුසිය මත සිය ජීවිත පූජාවන් අද දින ලෝ පුරා සෑම දෙව්මැදුරකම සිහිපත් කෙරෙනුයේ තුන්පැය ධ්‍යානයකිනි.

දින හතළිහක කාලයක් කිතුනුවෝ එක්වරු ශීලය රකිමින්, දාන මාන පිරිනමමින්, මර්දන ක්‍රියාවන් අනුගමනය කරමින් දේව මෙහෙයයන්, යාච්ඤා මෙහෙයන්හි නියැළෙමින් ආධ්‍යාත්මික ගුණ වර්ධනයක යෙදුනහ. ජේසුස් වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදවා නැගිටීම මේ ඉරිදා එනම් පාස්කු ඉරිදා කිතු බැතිමත්හු සිහිපත් කරන්නේ උත්සවශ්‍රීයෙනි.

Info Sri Lanka TV

Powered by Blogger.