Ad

"විශ්වාසභංගය දිනුවොත් ශ්‍රීලනිපයේ කිසිවකුට ඇමැතිකම් බැහැ"


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බදුල්ලේ කොට්ඨාස 13න් 7ක් ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයයි. එහි බහු ආසන දෙකක් සමඟ අපි ආසන 9ක් දිනාගත්තා.

අපිට ආසන 9ක් ලැබෙද්දී පොහොට්ටුවට ලැබුණේ ආසන 6යි. ආසන සියල්ලක්ම සැලකිල්ලට ගත්තම එජාපයට පැහැදිලි ජයග්‍රහණයක් ලැබුණා. නමුත් මේ හොල්මන් බෝනස් ක්‍රමයත් එක්ක පොහොට්ටුවට බෝනස් දෙකයි පැරදුණු ශ්‍රී ලනියට පිං බෝනස් 5යි නැවත වතාවක් කියනවා පිං ඇමැතිලා පිං මහ ඇමැතිලා පිං ජනාධිපතිලා ඉන්න රටේ පිං බෝනස් 5ක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව වෙනකොට අපිට තියෙන දුක මේ රටේ යහපාලනය ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ වාසියට විතරයි. යහපාලනය කබරගොයා තලගොයා කරගෙන කනවා වගේ වාසියක් කරගෙන. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ තනතුරු තානාන්තරවලදී අපිට අභියෝග කරන්න හදන කණ්ඩායම්වලට අපි පැහැදිලිවම කියනවා මේ දේශපාලනයේ තියෙන්නේ පුටුවල නෙවෙයි හදවත්වල. ඒ වගේම ප්‍රතිපත්ති එක්ක. දැන් මේ රට යන පැත්ත ගැන බලනකොට ඉතාම කනගාටුවක් අපේ හදවතේ තියෙනවා.

ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ අදහස් පළකළේ පසුගිය 28 වැනි දින බදුල්ලේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

බදුල්ල මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහී යෑමෙන් අනතුරුව මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා බදුල්ල නගර සභාවට හා ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ මන්ත්‍රිවරුද සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

පාර්ලිමේන්තුවේ තියෙන යහපාලනය ප්‍රාදේශීය සභාවලත් ක්‍රියාත්මක කළා නම් අපිට ජයග්‍රහණය කරන්න තිබුණා. එහෙත් පාර්ලිමේන්තුවේ එකට ඉන්න පුළුවන් නම් ප්‍රාදේශීය සභාවේ එකට ඉන්න බැරිවෙන්න හේතුව මොකක්ද? එතකොට මෙතැන පැහැදිලිවම ගේමක් තියෙනවා. එජාපය දියාරු කරන්නයි මේ ගේම් ගහන්නේ. විශ්වාසභංග ගෙනාවා.

එක වෙලාවකට එක පැත්තකත් තව වෙලාවක තව පැත්තකත් හිට ගන්නවා. මුං මහා දෙපත් නයි. මේ දෙපත්නයි සරම අස්සේ දාගෙන තමයි එජාපයේ අපිට කෑවෝ කෑවෝ කියන්න වුණේ. එජාපය වෙනස ආරම්භ කරපු දිස්ත්‍රික්කයක් මේක. අපිට ගහන්න ඇවිත් තමයි පොල්ල වරද්දගන්නේ කියන එක කියන්න ඕනි. මේ වෙලාවේදී අපි සංවරව බොහෝම ඉවසීමෙන් නිකම් පිනට පත්වූ නගරාධිපතිවරුන්ට සුබ ප්‍රාර්ථනා කරන අතරෙම ඔය පිං ඇමැතිකම් ගත්ත අයටත් සුබ ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න. අපේ ඇමැතිකම් ඕනි නම් ගලවලත් ගන්න. හැබැයි මේවා පවක් හැටියට එහෙමත් නැති නම් කරුමයක් හැටියට වගේම දිට්ඨධම්මවේදී කර්මය පටිසන් දෙනවා කියන එකත් මතක් කරලා දෙන්න ඕනෑ.

මම විශ්වාස කරනවා එජාපයට වැරදුණු තැන් හදාගන්න දැන්වත් කාලය තියෙනවා. එජාපයේ විශාල වෙනසකට අපිත් අත ගහනවා. ඒ වෙනස තුළදී අවංකව හදවතින් එජාපයේ වෙනසක් කරන්න ඕනි කියන තැන බදුල්ලේ අපි ඉන්නවා. ඒ නිසා අපි මේ වෙලාවේදී මතක් කරලා දෙන්නේ මේ කරපු නින්දිත දේශපාලනේ මං හිතනවා කොන්ද නැතිව ඇමැතිකම තියාගෙන යහපාලන ආණ්ඩුවේ සිටින ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ට පාඩමක් උගන්වනවා. ඒ වගේම පළාත් සභාව තුළ අදින් පස්සේ පිංගුත්තර මහ ඇමතිලාට එජාපයේ සහයෝගය නැහැ. බලමු උෟවේ පිංගුත්තර මහ ඇමතිලා කොහොමද තමන්ගේ පුටුව එජාපයේ සහයෝගය නැතිව බේරගන්නේ කියලා. අපිටත් දැන් පොහොට්ටුවේ නෙවෙයි මොකාගේ ඇඟේ හරි එල්ලිලා හරි මේ ශ්‍රී ලනිපයේ දෙපත් නයි වැඩපිළිවෙළට විරුද්ධව අපි අනිවාර්යයෙන්ම නැඟී සිටිනවා. මොකද එක පිඟානෙන් කාලා තමන්ගේ වාසියට අනිත් පැත්තට හැරෙන ඉතාමත්ම පහත් නින්දිත දේශපාලනයක්. ශ්‍රී ලනිපය නිසා තමයි අද රට අරාජික තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. බය නැතුව ඒක කියන්නට ඕනි. පුංචි ඡන්දයේ දේශපාලන වාසිය පොහොට්ටුවට යන්න මූලික හේතුව වුණේ ශ්‍රී ලනිපයේ තිබුණු කිසිම ප්‍රතිපත්තියක් නැති දේශපාලනය නිසා තමයි ඒක වුණේ. ගොඩක් ප්‍රාදේශීය සභා, නගර සභා එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලනිපයට එකතුවෙලා හදන්න තිබ්බ ස්ථානය නැතිවුණේ මොවුන්ගේ තියෙන පෙරේත ඒ වගේම මහ කෑදර ප්‍රතිපත්ති න්‍යාය සහ එජාපයත් එක්ක තියෙන වෛරය නිසා තමයි මේවා නැතිවුණේ. එහෙම නැත්නම් රටටවත් ගමටවත් කරන්න ඕනි දෙයක් නිසා නෙවෙයි.

මෙතනින් එහාට මගේ යහපාලනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක නැහැ. මගේ නායකයෝ මොනවා කිව්වත් මා සම්බන්ධයෙන් කුමන විනය පියවර ගත්තත් මා කියන්නේ එකම දෙයයි. ආණ්ඩුවක් ඇතුළේ මහ ආණ්ඩුවකුයි පොදු ආණ්ඩුවකුයි දෙකක් ගහන්නේ මොකද? එජාපය මේ තරම් බලු විදියට වැටෙන්නේ මොකද කියලා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම වැඳ වැඳ ඉන්න අවශ්‍යතාවක් නෑ. විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළොත් ශ්‍රී ලනිපයේ එකෙක්ට ඇමැතිකම් නම් දරන්න බෑ. ඇමැතිකම් දැරිය යුතුත් නැහැ. අදින් පස්සේ ඇයි හොඳයිකම් අවශ්‍යයත් නෑ.

ආණ්ඩුවක් ගෙනාපු, ආණ්ඩුවක් ගේන්න විශාල වශයෙන් මහන්සි වූ කෙනෙක් හැටියට, මේ ජනාධිපතිවරයා ගේන්න රැස්වීම් 110ක විතර කතා කරපු මිනිහෙක් හැටියට ඇයි අපේ නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු වෙනුවෙන් ගෙනාවේ නැත්තේ කියන දුක අපිට තියෙනවා.

අපේ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග ගේනවා. ඒවා ඇතුළෙත් ගේම් ගහනවා. එජාපය වට්ටන්න උත්සාහ ගන්නවා. කට වහගෙන ඉඳීමේ න්‍යාය තව කොච්චර දුරට කටවහගෙන ඉන්නද කියන ප්‍රශ්නය අපි තුළ තියෙනවා. අර වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා, ගහන්න ගහන්න වඳින එකත් මෝඩයාලු. මෙහෙම වැඳ වැඳ ඉන්න අවශ්‍ය නැහැ. ඊට වඩා හොඳයි එළියට බැහැලා කෙළින් කතා කරන එක.

Powered by Blogger.