එජාප මැයි රැලිය මැයි 7 දා කුරුණෑගල දී : එජාපය වෙනස් කරන්න මහ සමුළුවකුත්.


එක්සත් ජාතික පක්ස මැයි රැලිය ලබන මැයි මස 07 වැනිදා කුරුණෑගල දී පැවැත්වීමට තීරණය කර ඇතැයි එජාප මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටී.

වෙසක් පොහෝ දිනය අප්‍රේල් මස මස 29 වන දිනට යෙදීම හේතුවෙන් වෙසක් සතියේ දී මැයි පළමු වැනිදාට යෙදෙන මැයි දිනය නොපවත්වන ලෙස මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්න සිදු කළ ඉල්ලීම සලකා මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය මැයි 07 වැනිදාට පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී තීරණය කළ බව මන්ත්‍රීවරයා කියා සිටියේය. වෙසක් සතියේ මැයි දිනය යෙදීම හේතුවෙන් මෙවර මැයි රැලිය නොපැවැත්වීමට යෝජනා වූ බව පෙන්වා දුන් ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය සිදු කළ ඉල්ලීමක් අනුව කුරුණෑගල දී මැයි රැලිය පැවැත්වීමට තීරණය කළ බවද වැඩි දුරටත් කියා සිටියේය.

ඊයේ (30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මහ සමුළුවක්

ඉදිරි දෙසතියේදී සිදු කෙරෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට අදාළව පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් කඩිනමින් පැවැත්වීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.

මේ මස 5, 6, 7 යන දිනවල සාකච්ඡාවට යොදා ගැනීමට නියමිත පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ මන්ත්‍රි කමිටු තුනේ වාර්තා පිළිබඳව පක්ෂයේ අවසන් තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ මහා සම්මේලනයක් කැඳවීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් ඒ සඳහා පසුගිය 29දා සිරිකොත එජාප මූලස්ථානයේදී එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් සිරිකොත ප්‍රකාශකයෙක් 'ඉරිදා මව්බිම'ට පැවැසීය.

මේ පක්ෂ ප්‍රතිසංවිධානයේදී පක්ෂයේ 2 වැනි පෙළ හා 3 වැනි පෙළ නායකයන් කිහිපදෙනෙක් හඳුන්වාදීමටත් 2020දී එජාප නායකයා කවුදැයි ප්‍රකාශයට පත් කිරීමටත් එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුපෙළ මන්ත්‍රින්ට පොරොන්දු වී ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Latest Video

Powered by Blogger.