Ad

දුෂිතයින්ට වැඩ වරදින අලුත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.


ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීම සඳහා වන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත හෙට (6දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතින් 12 වැනි වගන්තියට තවත් අලුත් වගන්ති තුනක් ඇතුළත් කිරීම මඟින් පනත සංශෝධනය කරනු ලබයි.

අදාළ සංශෝධන යටතේ පිහිටුවනු ලබන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණයේ විනිශ්චයකාරවරයන් අතුරින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලබන, එකවර විනිශ්චය සභාරූඪවන විනිශ්චයකාරවරයන් තිදෙනකුගෙන් සමන්විත වනු ඇත.

ඉන් එක් විනිශ්චයකාරවරයකු එම අධිකරණයේ සභාපතිවරයා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලබයි.

තීරණාත්මක නියෝග කිහිපයක් !

අලුතින් පිහිටුවනු ලබන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියෙහි ඇති නඩු විභාගයක්, නීතිපතිවරයා විසින් හෝ අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන අධිචෝදනා පත්‍රයක් මත පවත්වනු ලැබිය යුතු අතර එම නඩු ඉක්මනින් පවත්වා අවසන් කරනු ලැබිය යුතු බවද පනතෙහි සඳහන් වෙයි.

එම නඩු දිනපතා විභාග කළ යුතු බවත් නඩු විභාග වන දිනයක නිශ්චිත නීතිඥවරයකුට වෙනත් අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක පෙනී සිටීමට යොදාගෙන තිබීම හෝ යම් හේතුවක් මත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නොහැකිවීම, නඩු විභාගය ආරම්භ කරන දිනය කල් දැමීමට හේතුවක් නොවිය යුතු බවද පනතෙහි දක්වා ඇත.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවත්වන ලද නඩු විභාගයකදී ප්‍රකාශයට පත්කරන ලද තීන්දුවක් සම්බන්ධයෙන් වන අභියාචනයක් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද දිනයේ සිට දින 28ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු වෙයි.

නඩු විභාග ඉක්මනින් අවසන් කළ යුතු බවට වගන්තියක්

අග්‍රවිනිශ්චයකාරවරයා විසින් නම් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් පස් දෙනකුට නොඅඩු සංඛ්‍යාවකින් යුත් විනිශ්චය පීඨයක් මඟින් එම අභියාචනය විභාග කළ යුතු බවත්, අග්‍රවිනිශ්චයකාරවරයා විසින් එම විනිශ්චය පීඨයට තමාවම නම් කරනු ලැබීම නීත්‍යනුකූල වන බවද එම පනතෙහි සඳහන් වෙයි.

එසේ කරන ලද අභියාචන ඉක්මනින් විභාග කර අවසන් කළ යුතු බවට වගන්තියක්ද පනතට ඇතුළත් කර ඇත.

අධිකරණ ඇමැතිවරයා විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවන ස්ථාන දැක්වීම අධිකරණ සේවා කොමිෂන් සභාව විමසා සිදුකළ යුතු වෙයි.

ඇමැතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින්, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේදීත්, අධිකරණ සේවා කොමිෂන් සභාව විමසිය යුතුව ඇතැයි පනතෙහි දක්වා ඇත.

බරපතල කාරනා මෙන්න :

ශ්‍රී ලංකාවේ පුරවැසියකු විසින් ශ්‍රී ලංකාවේ දේශසීමාවෙන් පිටත ස්ථානයකදීද කවරවූ වර්ගයක යම් නැවක හෝ යම් ගුවන් යානයක එබඳු යම් නැවක හෝ ගුවන්යානයක් සම්බන්ධයෙන් සිදුකරන ලද වරදක් සම්බන්ධයෙන් වන අධිකරණ බලය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට තිබිය යුතු බවට වගන්තියක්ද පනතට ඇතුළත්ය.

සොරකම, දේපළ වංක ලෙස ව්‍යවහරණය කිරීම, යම් තැනැත්තකුගේ මරණය සිදුවන වේලෙහි ඔහු සන්තකයේ තිබූ දේපළ වංක ලෙස ව්‍යවහරණය කිරීම, සාපරාධී විශ්වාසභාරය කඩ කිරීම, රජයේ සේවකයකු විසින් හෝ බැංකුකරුවකු, වෙළෙන්දකු හෝ නියෝජිතවරයකු විසින් කරනු ලබන සාපරාධී විශ්වාසභාරය කඩ කිරීම, සොරකම් කරන ලද දේපළ වංක ලෙස භාර ගැනීම, කූට ලේඛන සෑදීම, අසත්‍ය "ලේඛනයක් සෑදීම, අධිකරණයක වාර්තාවක් හෝ ආණ්ඩුවේ උප්පැන්න නාම "ලේඛනයක් ආදිය කූට ලෙස සෑදීම, අගනා සුරැකුම්පතක් හෝ අන්තිම කැමැති පත්‍රයක් කූට ලෙස සෑදීම, කූට ලෙස සාදනු ලැබූ "ලේඛනයක් නිර්ව්‍යාජ ලේඛනයක් ලෙස පාවිච්චි කිරීම, ගිණුම් වරදවා දැක්වීම, මුදල් විශුද්ධිකරණ වරද, අධිකරණ නිලධාරීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් සම්බන්ධයෙන් වූ අල්ලස්, රජයේ සේවකයන් සම්මුඛ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විසින් තුටු පඬුරු භාරගැනීම, පොලිස් නිලධරයන්, සාම නිලධරයන් සහ වෙනත් රජයේ සේවකයන් සම්බන්ධයෙන් වූ අල්ලස් ඇතුළු වගන්ති 57ක් යටතේ සඳහන් වන වැරැදි 68ක් සම්බන්ධයෙන්ද, තවත් පනත් කිහිපයක් යටතේ වන වැරැදි සම්බන්ධයෙන්ද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයන්හි නඩු පැවැරීමට නව පනත් සංශෝධන මඟින් විධිවිධාන සලසා ඇත.

Powered by Blogger.