හදිසි නීතියෙන් සමාජ මාධ්‍යයත් ඉලක්ක වේ : ඇමෙරිකාව සෝදිසියෙන්.


රට තුල ඇතිව තිබෙන කලහකාරි තත්වය පාලනය කිරීමටත්, නීතිය හා සාමය ස්ථාපිත කිරීම සදහාත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල යටතේ මේවනවිට හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී අසත්‍ය ප්‍රචාර හා ජාතිවාදය පතුරුවන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සදහා ප්‍රමුඛතාවය ලබාදී තිබේ.

මේ සදහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති අතර ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, මැසෙන්ජර් ආදී සමාජ ජාලයන් ඔවුන්ගේ දැඩි සෝදිසියකට ලක් කිරීමට නියමිතව තිබේ.

එහිදී කිසිවතු හෝ ජාතිවාදය හෝ අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින්නේ යයි තහවුරු වුවහොත් හදිසි නීතිය යටතේ ලබා දිය හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීන්දුකර තිබේ.

 'භාෂණයේ නිදහසට කිසිම බාධාවක් නෑ'

කෙසේවුවද මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ මහතා, ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් පළ කිරීමේ හෝ ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය හදිසි නීතිය මගින් කිසිදු ආකාරයකින් අහෝසි නොකෙරෙන බව අවධාරණය කළේය.

"සාමාන්‍ය ජන ජීවිතයට කිසිම බාධාවක් නෑ. වෛරය පැතිරවීම හැරුනම, භාෂණයේ නිදහසට කිසිම බාධාවක් නෑ." ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

'අවශ්‍ය වන්නේ නම් තවත් පියවර':

මේ අතර බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ජාතිවාදී මෙන් ම අවලාද පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ අවශ්‍ය වන්නේ නම් "තවත් පියවර ගැනීමට" පවා ආණ්ඩුව පසුබට නොවන බවය.

රටේ වත්මන් තත්ත්වය ගැන ඇමෙරිකාව සෝදිසියෙන්

ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශ්වවලට එරෙහිව ශ්‍රී ලංකා රජය කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රටේ සුළු ආගමික සහ ජනකොටස්වල ආරක්ෂාව සුරක්ෂිත කරමින්, දැනට ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතු යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එම නිවේදනය වැඩිදුරටත් මෙසේය.

"නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ සමානාත්මතාව සාමයට මෙන්ම සහජීවනයට අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, රජය ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශවවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. මානව හිමිකම් මෙන්ම, සියලු පාර්ශ්වවල මූලික නිදහස ආරක්ෂා කරමින් සුළු ආගමික කොටස් සහ ඔවුන්ගේ ආගමික ස්ථාන ආරක්ෂා කරමින් හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතුව ඇත."

Latest Video

Powered by Blogger.