දිගන සිදුවුනේ මොකද්ද? කවුරුත් නොකියන කතාව මෙන්න.


පසුගිය මස 22 වෙනිදා සිදු වූ බරපතළ පහරදීමට ලක්වී මීට දින කිහිපයකට පෙර මියගිය අවුරුදු 41ක් වයසැති දෙදරු පියෙකු වූ ඒ.ජී.කුමාරසිංහ මහතාගේ මරණය මූලික කොටගෙන ජාතිවාදී ගැටුමක් හිස එස වූයේ ඉංග්‍රීසීන්ට පවා සටන් කොට යටත් කරගත නොහැකි වූ මහනුවර නගරය සහ තදාසන්න ප්‍රදේශයන් තුල භීෂණකාරී වාතාවරණයක් නිර්මාණය කරමිනි.

කිසිදු ජාතිවාදී ස්වරූපයක් නොගත් එක්තරා සිදුවීමක් පාදක කොටගෙන ආරම්භ වූ භීෂණකාරී තත්වයන් තවදුරටත් දිරිමත් කිරීමට නොයෙකුත් පාර්ශවයන් ෆේස්බුක් සමාජ ජාලය භාවිත කලේ කිසිදු අනුදැනුමක් හෝ සොයාබැලීමකින් තොරවය.

මූලික සිද්ධිය:

පෙබරවාරි 22 වෙනි දින තෙල්දෙණිය මංසන්ධියේදී මියගිය කුමාරසිංහ තමාගේ ලොරි රථය හරවන අවස්ථාවේදී සිව්දෙනෙක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් යාන්තමට ලොරියේ ගැටී ඇත.

එහිදී කුමාරසිංහ සහ ත්‍රීරෝද රථ රියදුරු අතර තත්පර කිහිපයක වචන හුවමාරුවක් සිදු වී ඇත. මින් නොනැවතුනු මෙම වචන හුවමාරුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූයේ කුමාරසිංහ පසුපසින් ධාවනය වූ ත්‍රීරෝද රථ රියදුරු කිහිප වතාවක් උත්සාහ කලත් තම ලොරි රථය පසු කිරීමට ඉඩ නොදීමෙන් අනතුරුවය.

වාහන දෙක තෙල්දෙණිය තෙල් පිරවුම්හල අසල නැවැත්වුනි. ත්‍රීරෝද රථයේ ගමන්ගත් සිව්දෙනා කුමාරසිංහට සහ ඔහු සමග ගමන්ගත් ඔහුගේ සහායකට අමානුෂික අයුරින් පහර දුන්හ.

සහායක පහරදීම අතරතුර පලා යාමට සමත් වූවත් ලේ විලක් මැද හිසේ බරපතල තුවාලද සහිතව කුමාරසිංහ මහතාව තෙල්දෙණිය රෝහලටත් එයින් මහනුවර මහරෝහලටත් මාරු කර යැවුණි.

අහිමි වූ ඒ.ජී.කුමාරසිංහගේ ජීවිතය

 දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කුමාරසිංහ මහතා මාර්තු 03 වෙනි දින මෙලොව හැර ගියේය.

ඔහුගේ මරණයෙන් බලවත් හිත් වේදනාවට ලක් වූ ගැමියන් අවසන් කටයුතු සිදු කල 05 වෙනි දින මධ්‍යහනයේ රැස්වී ප්‍රකෝපකාරී ලෙස හැසිරී මුස්ලිම් කඩ රැසකට අලාභහානි සිදු කළහ. පිටතින් පැමිණි කණ්ඩායම්ද මෙම ප්‍රහාරයන් සදහා සහයෝගය නොමදව ලබා දී ඇත.

ඉන් අනතුරුව රජය මැදිහත් වී මහනුවර දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය ක්‍රියාත්මක කල අතර එමගින් භීෂණකාරී වාතාවරණය යම්තාක් දුරට පාලනය විණි.

අහිංසක මිනිසුන් භීෂණයේ ගොදුරක් වීම: 

බලගොල්ල පල්ලෙකැලේ පාරේ පිහිටා තිබූ එස්.එම්. නව්ෆර් මහතාගේ හෝටලය කඩා විනාශ කල කඩ අතර විය. අප සමග අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කල සිටියේ ඔහුට සහ අනෙක් කඩ හිමියන්ට සිදු කල මූල්‍යමය අලාභ වෙනුවෙන් රජය මැදිහත් වී වන්දි ලබා දිය යුතු බවත් එම කලකොහෝලාලයට සම්බන්ධ සියලු පාර්ශවයන් නීතියේ රැහැනට ඉක්මනින්ම හසු කර ගත යුතු බවත්ය.

තම පුතුගේ හෝටලයට ගිනි තබා අලාභහානි කිරීම සම්බන්ධයෙන් දැඩි සිත් තැවුලට පත් වී සිටින මින්සිලා මහත්මිය අප සමග ප්‍රකාශ කළ සිටියේ කිසිදු සිද්ධියකට සම්බන්ධ නොවන පාර්ශවයන් හට පහර දීම සහ ඔවුන් වෙහෙස මහන්සියෙන් සාදාගත් කඩපිලි විනාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

 තවත් මල සිරුරක් : සම්සුදීන් අබ්දුල් බාසිත්

මේ අතර, පිළිස්සී අළු වූ කඩයක් තුල මාර්තු සය වැනි දින උදෑසන 28 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගත්හ.

පල්ලෙකැලේ දියබුබුල ප්‍රදේශයේ නිවෙසටම යාබදව පිහිටා තිබූ මෙම කඩය මාර්තු 4 වෙනි දින සවස 1ට පමණ කළහකාරී කණ්ඩායම් විසින් විනාශ කොට ගිනි තබා ඇත.

මෙම අවස්ථාවේ කඩයෙන් පිටතට පැමිණීමට නොහැකි වී දුම ආග්‍රහණය වී ඔහු මියගිය ඇති බව මූලික පරීක්ෂණ පෙන්නුම් කළහ.

මෙලෙස අවාසනාවන්ත අයුරින් මිය ගියේ සම්සුදීන් අබ්දුල් බාසිත් නමැති තරුණ මහතාය.

ඔහුගේ එක් වැඩිමල් සහෝදරයෙකු වන සම්සුදීන් මොහොමඩ් ෆයාස් ද මෙම සිද්ධියෙන් පිළිස්සුණු තුවාල සහිතව රෝහල්ගත කළ අතර තවමත් ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියි.

අප වෙත අදහස් දක්වමින්, මොවුන් දෙදෙනාටම වැඩිමල් සහෝදරයා වන සම්සුදීන් මොහොමඩ් ෆාසිල් ඉල්ලා සිටියේ ජාතිවාදී ප්‍රශ්න සියල්ල පසෙක තබා මනුෂ්‍ය ජීවිතවල වටිනාකම පිලිබඳ අවධානය යොමු කොට පොදු මහජනයාගේ යහ පැවැත්ම තකා සියලුම ආගමික කණ්ඩායම් කටයුතු කළ යුතු බවය.

“තව දුරටත් මේ ප්‍රශ්න ඇදන් යාමෙන් වෙන්නේ අපි වගේ පවුල් වලට තවත් එයාලා ආදරය කරන අය නැති වීමයි. අපි හැමෝම එකම සහෝදර සහෝදරියෝ නේද? හැමෝටම තියෙන්නේ එකම රතු ලේ. මේ භේද බින්න අමතක කරල ඉමු,”

“මම තුන් වතාවක් උත්සාහ කරා මගේ මල්ලිලවයි අම්මා තාත්තවයි බේරගන්න එන්න. ඒත්, හංදියේ හිටපු කණ්ඩායම් මට එන්න දුන්නේ නෑ. පස්සේ ආරංචි වුනා අම්මයි තාත්තයි බේරිලා පැනලා ගිහින් කියලා. දෙන්නෙක්ව ඉස්පිරිතාලෙට ගෙනියලා කියලත් දැනගන්න ලැබුනා. ඉන් එක්කෙනෙක් ලොකු මල්ලි. කොහොමහරි උදේ තාත්තා මාත් එක්ක පිච්චුන අපේ කඩය බලන්න ආවා අම්මගේ බඩු වගයක් ගන්න ගෙදර තිබුන. එතකොටයි අපි මල්ලිගෙ මිනිය වැසිකිළියේ තියනවා දැක්කේ.”

“තව දුරටත් මේ ප්‍රශ්න ඇදන් යාමෙන් වෙන්නේ අපි වගේ පවුල් වලට තවත් එයාලා ආදරය කරන අය නැති වීමයි. අපි හැමෝම එකම සහෝදර සහෝදරියෝ නේද? හැමෝටම තියෙන්නේ එකම රතු ලේ. මේ භේද බින්න අමතක කරල ඉමු,” ෆාසිල් කියා සිටියේය.

 කුමාරසිංහගේ පවුලේ අසරණ බව නොදැක්ක දේශප්‍රේමිත්වය

“කළකෝලාහල කිරීමෙන් හෝ අඩදබර කිරීමෙන් කිසිදු පලක් නැති බවත් එමගින් නැති වූ ඇගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතය යලිදු නොලැබෙන බවත්ය”

ඒ.ජී.කුමාරසිංහගේ මරණය පාදක කොටගෙන ආරම්භ වූ මෙම සිද්ධි මාලාවේ තවත් එක් කැපී පෙනෙන කාරණයක් වූයේ ඔහුගේ මරණය පිලිබඳ කිබුල් කදුලු සැලූ කිසිම පාර්ශවයක් අගතියට පත් කුමාරසිංහගේ අසරණ වූ පවුලට සුළු හෝ උපකාරයක් කිරීමට ඉදිරිපත් නොවීමයි.

වැන්දඹුවක වූ තිලකා පුෂ්පකුමාරි අප හා පැවසූයේ ඇය ඇගේ ආබාධිත පුතු සහ දියණිය සමග කිසිදු පිළිසරණක් නොමැති තත්වයකට පත් වී ඇති බවය.

ඇය තවදුරටත් පැවසූවේ කළකෝලාහල කිරීමෙන් හෝ අඩදබර කිරීමෙන් කිසිදු පලක් නැති බවත් එමගින් නැති වූ ඇගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතය යලිදු නොලැබෙන බවත්ය.

 ගැටුමකට පෙරමුණගත් හිමිනම

මෙම ගැටුමේදී එහි මූලිකත්වය ගත් බවට එක් භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ නමක් ඈදී තිබිණි. ඒ මඩකලපුව මංගලාරාමයේ සහ රන්මුල්ල මහනුවර ශ්‍රී සුදර්ශනාරාමයේ විහාරාධිපති වන අම්පිටියේ සුමනරතන හිමියෝය.

උන්වහන්සේ අපට ප්‍රකාශ කර සිටියේ තෙල්දෙණිය පොලීසියේ අසමත්භාවය සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් මහජනයාට ප්‍රකෝපකාරී අයුරින් හැසිරීමට සිදු වූ බවය.

“අපගේ කිසිම කෙනෙකුට ප්‍රශ්න ඇති කිරීමට කිසිම උවමනාවක් තිබුනෙ නෑ. පොලීසිය අපි කියපු දෙයක් කනකටවත් ගත්තේ නැහැ. කුමාරසිංහගේ මරණයෙන් කෝප වූ යම් ගම්වාසීන් පිරිසක් මාර්තු 4 වෙනි දින එක මුස්ලිම් කඩේකට ගිනි තබා තිබුනා. එයට සම්බන්ධ සිව්දෙනෙක් පොලීසිය විසින් පසුව අත්අඩංගුවට ගත්තා.

මේ අතර පොලීසිය අනවශ්‍ය දෙයක් කරා. ඒ තමයි මේ කඩේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති කුමාරසිංහගේ මරණගෙදරට ඇවිත් තිබුනු තරුණයෝ රැසක් අත්අඩංගුවට ගැනීම.

වරදක් නොකර නිකරුණේ නීතියේ රැහැනට හසුකර ගත් තරුණයන්ගේ දෙමාපියන් සහ අනෙක් පිරිස් එකතු වුනා තෙල්දෙණිය පොලීසිය ඉදිරිපිටට. එහිදී පොලීසියේ නිලධාරීන් අපිව පැය ගාණක් පාරේ රස්තියාදු කරා, පොරොන්දු දිදී ඕ.අයි.සී. මහත්තයා එක්ක රැස්වීමක් දෙන බවට.

අවසානයේ කුමාරසිංහගේ අවසන් කටයුතු ඉවර වූ බව ආරංචි වූ අපේ පිරිස් රස්තියාදු වීමෙන් සහ මේ අහේතුක අත්අඩංගුවට ගැනීම් පිලිබඳව තිබූ බලවත් අප්‍රසාදය ක්ෂණික කෝපයක් බවට පත් වෙලා කඩවලට ගහන්න පටන් ගත්තා.

මම මේ බොදු බල සේනාවටවත් මහසෝන් බලකායට තියා කිසිම කණ්ඩායමකට සම්බන්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒත්, අපේ ආගම අපේ මිනිසුන්ට මෙහෙම වෙද්දි වාඩි වෙලා බලං ඉන්න කෙනෙකුත් නෙමෙයි. අපේ මිනිස්සු ජාතිවාදීන් නෙමෙයි,” සුමනරතන හිමියන් ප්‍රකාශ කර සිටියේය.

ජාතිවාදී ගැටුම් වැලැක්විමට මාර්ගයක්.?

කෙසේ වෙතත්, මෙම සිද්ධීන් මාලාව පිලිබඳව අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යාව පිලිබඳ කථිකාචාර්ය මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතා පවසා සිටියේ මෙම ජාතිවාදී ගැටුම්හි මුල් හේතු කාරණා සොයා ඒවා නිවැරැදි ආකාරයෙන් විසදීම සදහා දිගු කාලීන ප්‍රතිපත්ති තීරණ අදාල වගකිවයුතු පාර්ශවයන් විසින් ගත යුතු බවය.

ජාතික සාම කවුන්සලයේ විධායක අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා මහතා අප වෙත කියා සිටියේ මෙම සිද්ධිය යම් කඩාකප්පල්කාරී පාර්ශවයක් විසින් තම දේශපාලන න්‍යායපත්‍ර මුදුන් පමුණුවා ගැනීම සදහා එක්තරා සිද්ධියක් පාදක කොටගෙන උවමනාවෙන් නිර්මාණය කරන ලද සහ දියත් කල ක්‍රියාදාමයමක් බවයි.


( පියුමි ෆොන්සේකා - ශ්‍රී ලංකා ගාර්ඩියන්)
(කතුවරිය ගැටුම් ඇති වූ ප්‍රදේශ තුළ සිදුකළ නිරීක්ෂණ සංචාරයෙන් පසු සංවේදී සිදුවීම්වලට මුහුණ දුන් පිරිස් හමු විමෙන් ලබා දුන් වාර්තාවකි)

Info Sri Lanka TV

Powered by Blogger.