විශ්වාසභංගය : 'ශ්‍රීලනිපයේ 03ක් රනිල්ට - 07ක් 'ඇබ්සන්ට්'


ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද (මාර්තු 04) රාත්‍රියේ පැවැත්වෙන ඡන්දය විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, විජිත් විජිතමුණි සොයිසා, සහ ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් යෝජනාවට විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට බොහෝදුරට ඉඩ ඇතිබව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එසේම, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, රන්ජිත් සියඹලාපිටිය, පියසේන ගමගේ, මනුෂ නානායක්කාර, මහින්ද සමරසිංහ, එච්. ආර්. සාරතී දුෂ්මන්ත යන මැති ඇමතිවරුන් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකි සිටීමට තීරණය කර ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

විශ්වාස භංගය සම්බන්ධයෙන් තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඕනෑම තීරණයක් ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදී ඇතැයි කියන උපදෙස් මත ඉහත නම් සඳහන් ශ්‍රීලනිප මැති ඇමතිවරුන් එවැනි තීරණයකට එළඹ ඇතැයි පැවසේ.

ශ්‍රීලනිපය අනවශ්‍ය ආරාවුලක පැටලීලා' 

මේ අතර, විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද (මාර්තු 04) රාත්‍රියේ ඡන්දය විමසනු ලැබීමට පැය කිහිපයක් තිබියදී බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වූ ශ්‍රීලනිප මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා, තම "පක්ෂය අනවශ්‍ය ආරාවුලක පැටලී සිටින" බව කියා සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගනු ලබන අවසන් තීන්දුව තවමත් ගෙන නොමැති බව ද ඔහු සඳහන් කළේය.

පදවියෙන් ඉල්ලා අස්වෙන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමේ තීන්දුවක් ගෙන එය අගමැතිවරයාට දැනුම් දීමක් මිස, එම විශ්වාසභංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීමක් පිළිබඳව කිසිදු තීන්දුවක් ගෙන නැතැයි ඔහු අවධාරනයෙන් කියා සිටියේය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයේ තීන්දුව කුමක්ද? එය ගනු ලබන්නේ කවදාද? යන ප්‍රශ්නය බීබීසිය විසින් යොමුකළ විට ඊට පිළිතුරු දුන් ඇමතිවරයා "එම තීන්දුව අද (බදාදා) රාත්‍රී නවය හමාරෙන් පසුව දැන ගන්නට ලැබෙනු ඇතැයි" සඳහන් කළේය.

'ආණ්ඩුව අර්බුදයට පත්කිරීමේ අරමුණින්'

තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා, "මෙම විශ්වාසභංග යෝජනාව මගින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අපේක්ෂා කරන්නේ ආණ්ඩුව අර්බුදයකට පත් කරමින් ඔවුන්ගේ දේශපාලන ගමන් මාර්ගය තවත් ශක්තිමත් කර ගැනීම" බව පෙන්වා දුන්නේය.

"ඔවුන්ගේ දේශපාලන අරමුණ වී තිබෙන්නේ ඔවුන් විශ්වාසභංගය දිනුවත් අපට දෝෂාරෝපනය කරන්න. ඔවුන් පැරදුනත් අපට දෝෂාරෝපනය කරන්න. මේ විශ්වාසභංගයේ ජය පරාජය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතේ තියෙන බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා කියල තිබුණා. ඒකෙන් පේනවා ඔවුන්ගේ අරමුණ කුමක්ද කියල" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා පැහැදිලි කළේය.

"අගමැතිවරයාට චෝදනා කීපයක් දාලා - මේ විශ්වාසභංගය ඉදිරිපත් කරලා තියෙන්නේ රජයට විරුද්ධව. රජය කියන්නේ ජනාධිපතිතුමා අපි ඇතුළු කණ්ඩායම. අගමැතිවරයාට චෝදනා ටික දාලා ඉතා සූක්‍ෂම විධියට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර ගැටළුවක් ඇති කෙරෙන ආකාරයට මේ යෝජනාව සකස් කරල තියෙනව" ඔහු වැඩි දුරටත් සඳහන් කළේය .

"තවත් වැඩි වෙලාවක් නැහැ. බදාදා රාත්‍රී නවයයි තිහ වෙන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව කුමක්ද කියල දැන ගන්න පුළුවන්!" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාව නිම කරමින් සඳහන් කළේය.

ඒකමතික තීන්දුවක් ?

මේ අතර මාධ්‍යයට අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක ඇමතිවරයා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම ඒකමතිකව තීන්දු කර ඇති බව කියා සිටියි.

"අපි අගමැතිතුමාට කිව්වේ - කරුණාකර අගමැති තනතුරෙන් ඔබ ඉවත් වෙන්න කියල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම - සම්පූර්ණයෙන්ම ඒකමතිකව තීන්දුවක් ගත් බව...පෙරේදා අපි ගත්තේ ඒකමතික තීන්දුවක්. ඒ තීන්දුවෙන් අපි ගත්තේ -පළමුවෙන් කරුණාකරලා අයින් වෙන්න කියල අගමැතිතුමා ට දැනුම් දෙන්න....ඒක භාර ගන්නේ නැත්නම් අද දිනයේ දී විශ්වාසභංග යෝජනාවට සියලු දෙනාම ඒකමතිකව සහයෝගය දෙනවා" එස්.බී. දිසානායක ඇමතිවරයා පවසයි.

අද (අප්‍රේල් 04) පාර්ලිමේන්තුවේදී ආරම්භවන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැය 12 ක් පැවැත්වීමත් ඉන් අනතුරුව රාත්‍රී 9.30ට පමණ ජන්ද විමසීම සිදුකිරීමටත් නියමිතය.

Latest Video

Powered by Blogger.