දුමින්දට එරෙහි කුමන්ත්‍රණයක් : SLFP ඒකමතික තීන්දුවක් නැහැ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරියේදී යම් කරුණක් සම්බන්ධව ඒකමතික තීන්දුවක් ගැනීමට නොහැකි වනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා පැවසීය.

මධ්‍යම කාරක සභාව තුළ කණ්ඩායම් දෙකක් නිර්මාණය වී තිබෙන බැවින් වැදගත් කරුණක් සම්බන්ධව සාකච්ඡා කරන අවස්ථාවකදී බහුතරයේ තීන්දුව පමණක් ගැනීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

යහපාලන රජයට සම්බන්ධ වීමටත්, එහි ඇමති ධුර ලබාගැනීමටත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර තීරණයක් ගත්තද යහපාලන රජයෙන් හා ඇමති ධුරවලින් ඉවත්වීමට පක්ෂය තීරණයක් නොගත් බවත්, විශ්වාසභංගයට පක්ෂ වූ ඇමතිවරුන් 16 දෙනා ඇමති ධුරවලින් ඉවත්වුවද මධ්‍යම කාරක සභාවේ සංයුතියට බලපෑමක් එල්ල නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එම ඇමතිවරුන් යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා පුරප්පාඩු වන අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර දරන මන්ත්‍රීවරුන් පත්කරන බවට මේ දක්වා තීරණයක් ගෙන නැති බවත්, එවැනි දැනුම්දීමක් තමන්ට දැනගන්නට ලැබී නැති බවත් පියසේන ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

SLFP මහ ලේකම් උප ලේකම් තනතුර වෙනස් කළ යුතු බවට යෝජනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමේදී පක්ෂයේ මහලේකම් තනතුරේ හා උප ලේකම් තනතුර විශේෂයෙන් වෙනස් කළ යුතු බවට ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සැලසුම් කර තිබේ.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ සංචාරය නිමවීමෙන් පසු මේ මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමටනියමිත බවද එම පිරිස් පෙන්වා දෙති.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දරණ අතර උපලේකම්වරයෙකු ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු කරයි.

මීට අමතරව සන්ධාන මහලේකම් ධුරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත් කළයුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබෙන බවද වාර්තාවේ.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර තිබියදී කිසිදු හේතුවක් නොමැතිව ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමේ තීරණය මහලේකම්වරුන් දෙදෙනා විසින් තනි කැමැත්තට තීරණය කිරීම මූලික කරගනිමින් මොවුන් තනතුරුවලින් ඉවත් කළයුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතයක් නිර්මාණයවී තිබෙන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සඳහන් කරති.

මෙම කුමන්ත්‍රණය සඳහා තවත් ප්‍රබල අමාත්‍යවරයෙකුද මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.

Latest Video

Powered by Blogger.