පාර්ලිමේන්තුව කල්තබයි : අලුත් විපක්ෂ නායකයකු ගැන ආරංචි.


ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ  (12) රාත්‍රී අති විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් තබා ඇත. එම ගැසට් පත්‍රය අනුව මැයි 08 වැනි දා දෙවැනි සැසි වාරය ආරම්භ වීමට නියමිතය.

2015 අගෝස්තු 26 වැනිදා 1929/13 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වූයේ 2015 සැප්තැම්බර් දෙවැනිදාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමටත්, මාස දෙකක් නොඉක්මවන දිනයක දී යළි ඊළඟ වාරය පටන් ගැනීමේ දිනයක් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුනේ අප්‍රේල් මස 19 වෙනිදාටය.

16 කණ්ඩායම 19 දා විපක්ෂයට !

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රීලනිප 16 කණ්ඩායම එදින (19) විපක්ෂයට එක්වීමට නියමිතව තිබිණ.

මෙසේ පාර්ලිමේන්තුව කල් තැබුවේ ඇයි දැයි නිශ්චිතව වාර්තා වී නැතත් අලුත් සැසිවාරය ආරම්භ කිරීමත් සමග අලුතින් විපක්ෂ නායකයකු පත් කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිප 16 කණ්ඩායමේ නියෝජිතයින් සාකච්ජා පවත්වා තිබිණ.

එසේම, කාලයක් තිස්සේ ප්‍රමාද වි පැවතුණ ජාතික විගණන පනත් කෙටුම්පත ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබූ අතර මහජන මුදල් හා දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට එරෙහි නඩු විභාග ඉක්මන් කිරීම සඳහා ගෙන එනු ලැබූ විශේෂ අධිකරණය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතද ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එමෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිතව තිබූ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනයද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනේ ලබන 19 වනදාය.

Latest Video

Powered by Blogger.