'ක්‍රිකට්‌ අක්‍රමිකතා හෙළි කරනවා' - රන්ජන් රාමනායක.


ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (18 දා) පැවැසීය.

 ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක්‌ බවත්, ඩොලර් ලක්‍ෂ ගණනින් ගසා කා ඇති බවත් තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට්‌ තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් හෙතෙම සඳහන් කළේය.

 මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ සිදු කරන රටේ සෑම ස්‌ථානයකටම
 දැනුම් දෙන බවත්, පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරන මෙම වාර්තාවන් වෙනුවෙන් කොන්ද පණ ඇති සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩකයන්, නිලධාරීන් තමාට සහාය ලබා දීමට සූදානමින් පසුවන බවත් හෙතෙම කීවේය.

 විමර්ශනවලට හානි සිදුවන නිසා ඔවුන් පිළිබඳව තොරතුරු මේ මොහොතේ හෙළිදරව් නොකරන බවත් දූෂණ චෝදනා ලැබූවන් අද සුවිශාල වරප්‍රසාද ලබමින් මුනිවරයන් සේ කල් ගෙවන බව තමන් දන්නා බව ද ඒ අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරු කීපදෙනෙකු ද සිටින බව රන්ජන් රාමනායක මහතා අනාවරණය කළේය.

 ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ දූෂණ චෝදනා හෙළිදරව් කරමින් ක්‍රිකට්‌වලට ආදරය කරන අහිංසක ජනතාවට සාධාරණය ඉටු කර දීම තමාගේ අභිලාශය බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

 සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳව නව ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා ඊයේ (18 වැනිදා) සිය අමාත්‍යාංශයේදී වැඩ භාර ගත් අවස්‌ථාවට සහභාගි වීමෙන් අනතුරුව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ ඉහත කරුණු හෙළිදරව් කළේය.

Latest Video

Powered by Blogger.