විපක්ෂ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර වෙනසක් නෑ?


පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරයෙහි හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධුරයෙහි වෙනසක් සිදු නොවනු ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාත්,විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාත් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වනතුරු බොහෝ දුරට කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක්වුවහොත් මිසක, එම පක්ෂයේ කණ්ඩායමකට පමණක් විපක්ෂ නායකධූරය ලබාගැනීමේ හැකියාවක් නොමැති බව දේශපාලන විශේෂඥයන් පෙන්වාදී තිබීම මෙයට හේතුවී තිබේ.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට හෝ ශ්‍රීලනිපයෙන් විපක්ෂයට යෑමට සිටින 16 දෙනාට විපක්ෂ නායක ධුරය හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබාගැනීමට හැකියාවක් නොමැති බවත්, මහමැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂයකින් තේරී පත්වූ පක්ෂයකට පමණක් විපක්ෂ නායකධුරය හිමිවන බවද ඔවුන් පැහැදිලි කර තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡාවී තිබෙන බවත්,ඒ අනුව විපක්ෂ නායකධුරය ලබාගැනීමට ගන්නාවූ උත්සාහයට ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රසාදයක් පළව නොමැති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධව කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්කරවා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් බවත්,ඒ සම්බන්ධව ශ්‍රීලනිප මැතිඇමතිවරුන් හමුවූ අවස්ථාවලදී සාකච්ඡා කර තිබෙන බවත්ය.

දැනට ආණ්ඩුව දැඩි ලෙස ආරක්ෂා කරන ඇතැම් ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ තීරණ ඉදිරියේදී වෙනස්වීමට ඉඩ තිබෙන බවත්,දේශපාලන ක්‍ෂේත්‍රයේ නොසිතන දේවල් සිදුවිය හැකි බවද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් විපක්ෂනායක ධුරය ඉල්ලා කථානායකවරයාට ලිපියක් බාරදී තිබෙන නමුත් එය සාර්ථක නොවන බවද වාර්තා වෙයි.

Info Sri Lanka TV

Powered by Blogger.