එජාප නව ඇමති ලැයිස්තුව අගමැතිට : එජාප නව තනතුරු ඡන්දයෙන්.

සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී  එක්සත් ජාතික පක්ෂය  ජ්‍යෙෂ්ඨ මෙන්ම දක්ෂතාවටද මුල්තැන දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දක්ෂතා දක්වන පසු පෙළ මන්ත්‍රීවරුන් අතරින් නව නියෝජ්‍ය අමාත්‍ය ධුර 04ක් පමණ ලබාදීමට තීරණය කර ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙම මන්ත්‍රීවරුන් අතර මෙවර පාර්ලිමේන්තුවට ප්‍රථමවරට පැමිණි මන්ත්‍රීවරුන් සිටීමද විශේෂත්වයකි.

දක්ෂතා දක්වන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුටද කැබිනට් අමාත්‍ය තනතුරු පිරිනැමීමට යෝජනා වී ඇත.

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව මේ වන විට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර ඇති බවද වාර්තා වේ.

එජාප නව තනතුරු කෘත්‍යාධිකාරී මණ්ඩල ඡන්දයෙන්

මේ අතර එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලින් අනතුරුව සිදු කෙරෙන නව තනතුරු පත් කිරීම් කෘත්‍යාධිකාරී මණ්ඩල ඡන්දයක් හරහා සිදු කිරීමට තීරණය වී තිබේ.

ඒ අනුව දේශපාලන මණ්ඩලය විසින් තනතුරු සඳහා යෝජනා කරනු ලබන නාමයන් කෘත්‍යධිකාරී මණ්ඩලයේදී ඡන්ද විමසීමකට ලක්කෙරෙන අතර, එහිදී වැඩි ඡන්ද ලබාගන්නා අයවලුන් තනතුරු සඳහා පත් කිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා දේශපාලන මණ්ඩලය විසින් ගෙන එන ලද යෝජනා සියල්ල එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමටද එහිදී තීරණය වී ඇත.

පක්‍ෂ ප්‍රතිසංවිධානය සඳහා පත්කළ සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලය ඊයේ (19දා) අරලියගහ මන්දිරයේදී රැස් විය.

එහිදී පක්‍ෂයේ තනතුරු සඳහා සුදුස්සන් පත්කිරීම පිළිබඳ විවිධ යෝජනා ඉදිරිපත් වී තිබේ.

පක්ෂයේ නායකයාට අභිමත පරිදි පක්ෂයේ මහලේකම්වරයෙකු පත්කර ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවට මෙම කමිටුව එකඟතාවකට පැමිණ ඇති බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ මස 26 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර, එහිදී මෙම කරුණු කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර සැලසුම්සහගත වැඩපිළිවෙළක් යටතේ ජාතික ආණ්ඩුව 2020 වර්ෂය දක්වා පවත්වාගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය ලබන සතියේ සිය පක්ෂ සාමාජිකත්වයේ අනුමැතිය ලබාගන්නා බව එක්සත් ජාතික පක්ෂය පැවසීය.

ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකානිදහස්පක්ෂයනිලනොවනමට්ටමින්සාකච්ඡාකර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ඉලක්කසහගත නව වැඩපිළිවෙළක් සකස්කර ඒ සඳහා පක්ෂ දෙකේම එකඟත්වය මත 'එක නායකයෙක්, එක වැඩපිළිවෙළක්, එක රජයක්' සංකල්පය යටතේ ආණ්ඩුවේ ඉතිරි කාලය ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතය.

එම වැඩපිළිවෙළට පහසුවන ආකාරයෙන් විද්‍යාත්මක ආකාරයට විෂයයන් බෙදාඇති නව කැබිනට් මණ්ඩලය ලබන සතියේදී දිවුරුම්දීමටද සැලසුම්කරමින් පවතී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය එංගලන්ත සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ජාතික රජය පවත්වාගෙන යෑමේ අනුමැතිය ගැනීමට නියමිතය.

Info Sri Lanka TV

Powered by Blogger.