පූර්ණ කැබිනට් සංශෝධනය අප්‍රේල් 23 : එජාපයේ තුනක් අලුතින් කැබිනට්ටුවට.

සම්මුතිවාදීආණ්ඩුවේ පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අප්‍රේල් 23 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කිරීමට නියමිත බව වාර්තාවේ.

විද්‍යාත්මක පදනමක් යටතේ අමාත්‍යාංශවල විෂයයන් වෙන් කිරීමේ කටයුතු අවසන් වී නොමැති නිසා මෙසේ පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල් දමනු ලැබිය.

මෙම පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පසුගිය කාලය තුළ අමාත්‍ය ධුර අහිමිවූ එක්සත් ජාතික පක්‍ෂයේ දෙදෙනකු අමාත්‍ය ධුර දීමට නියමිත බව දැනගන්නට ඇත.

මීට අමතරව රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක්ද සංශෝධන සිදුවීමට නියමිත බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයකු අප සමඟ පැවැසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පුරප්පාඩු වී තිබෙන කැබිනට් අමාත්‍ය ධුර හය, රාජ්‍ය අමාත්‍ය ධුර හතර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර පහ සඳහා පත් කිරීම් සිදුකිරීම මෙම පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සිදුකිරීමට නියමිතය. එම පත්කිරීම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් සිදුකිරීමට නියමිතය.

එජාපයේ තුනක් අලුතින් කැබිනට්ටුවට !

මේ අතර එජාප නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

වසන්ත සේනානායක, පාලිත රංගේ බණ්ඩාර යන රාජ්‍ය ඇමැතිවරුන් සහ රංජිත් අලුවිහාරේ මන්ත්‍රිවරයාද ඇමැති ධුර ඉල්ලා සිටින බවත්, එම ඉල්ලීම් ඉටු නොකළහොත් එය එජාපය තුළ අනවශ්‍ය ගැටලු ඇතිවීමට හේතුවක් වන බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පෙන්වාදී තිබේ.

Info Sri Lanka TV

Powered by Blogger.