ශ්‍රීලනිප මැයි රැලිය මඩකලපුවේ : ප්‍රතිසංවිධානයට දින 7ක්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 07 වැනිදා මඩකලපුවේදි පැවැත්වීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

සියලු පළාත් වලින් පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහභාගීත්වයෙන් මෙවර මැයි දින රැළිය පවත්වන අතර මැයි දින පෙළපාලියක් මෙවර නොපැවැත්වීමට තීරණය කර තිබේ.

මැයි දින රැළියට සමගාමීව කම්කරු නායකයන් සමරා විශේෂ සම්මන්ත්‍රණයක් මැයි පළමුවැනිදා පස්වරු 3.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීටද තීරණය කළ බවත් වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීමේ කාර්යයන් සිදුකළ එවකට රජයේ අගමැති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක ශ්‍රීමතාණන්, එවකට කම්කරු ඇමැති ටී බී ඉලංගරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නියමුවන් වූ දිවංගත ආනන්ද දසනායක, අලෙවි මව්ලානා, හිටපු ප්‍රධාන ලේකම් ඩි සී වීරසේකර යන කම්කරු නායකයින් මෙහිදි සිහි කෙරේ.

මෙවර මැයි දිනය සැමරුම සංවිධානය කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර ඇත.

මෙවර වෙසක් පෝය දිනට පසුදිනට කම්කරු දිනය යෙදී ඇති බැවින් මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි මැයි දින සැමරුම හා නිවාඩු දිනය මැයි හත්වැනිදා ලබාදීමට රජය තීරණය කළ බවත් මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය‍

කෙසේ වුවද මැයි දින සැමරුම පළමු වැනිදා පැවැත්වීමට කිසිම වෘත්තිය සමිතියකට රජයෙන් බාදාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී (25) පෙරවරු පැවති එම පක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. 

ශ්‍රීලනිප ප්‍රතිසංවිධානයට දින 7ක් වෙන්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රතිසංවිධාන කටයුතු මැයි 08 වැනිදා සිට 15 වැනිදා දක්වා දින 07 තුළ සිදුකිරීමට තීරණය කර තිබේ.

අදාළ ප්‍රතිසංවිධාන කටයුතු පක්ෂයේ මධ්‍යම කාරක සභාව, පාර්ලිමේන්තු කණ්ඩායම සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන මන්ත්‍රී කණ්ඩායම්වල අදහසට අමතරව පක්ෂයේ ශාඛා සමිතිවල අදහස් මතද සිදු කිරීමට නියමිතය.

08 වැනිදා සවස 2.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකිරීමට සමගාමීව එම වැඩපිළිවෙළගම් මට්ටමට රැගෙන ගොස් ප්‍රතිසංවිධාන කටයුතු කිරීමටද පක්ෂය තීරණය කර තිබේ.

මෙම ප්‍රතිසංවිධාන කටයුතුවලදී පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් වෙනස් කිරීමට නියමිත අතර, මීට අමතරව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ වෙනස්කම්ද සිදු කිරීමට තීරණය කර ඇත.

ප්‍රතිසංවිධාන කටයුතු අවසන් වූ පසු පක්ෂයට නව සාමාජිකයන් බඳවාගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Latest Video

Powered by Blogger.