නව මුහුණු 26කට එජාපයේ දොර ඇරේ : අලුත් ඇමැති පට්ටම් 6 ක්.


එ.ජා.ප. ප්‍රතිසංවිධානයේදී නව තනතුරු 26ක් පමණ නිර්මාණය කෙරෙනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී පක්ෂ මහලේකම්වරයා පක්ෂ නායකයාගේ අභිමතය පරිදි තෝරාගන්නට තීන්දු කැරිණි. එහෙත් පක්ෂයේ නියෝජ්‍යනායක, උපනායක හා ජාතික සංවිධායක, භාණ්ඩාගාරික ධුරය ඇතුළු සෙසු තනතුරු සඳහා ඡන්දයෙන් සුදුස්සන් තෝරා ගැනීමට දේශපාලන මණ්ඩලය තීරණය කළේය. 

අප්‍රේල් 30දාට පෙර මෙම තෝරාගැනීම් සිදුකර මැයි දින රැලිය පැවැත්වෙන දිනයේදී ඒවා ප්‍රකාශයට පත් කෙරෙන බවද වාර්තා වෙයි.

රවී, ආයෙත් කැපේ

මේ අතර ඉදිරි සතියේ සිදුවෙතැයි අපේක්ෂා කරන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පුරප්පාඩු වී ඇති කැබිනට් අමාත්‍ය පදවි 06 සඳහා එ.ජා.ප. යෙන් හා ශ්‍රී ල.නි.ප.යෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් 06 දෙනකුගේ නම් යෝජනා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඒ අනුව එ.ජා.ප.යෙන් විජයදාස රාජපක්ෂ, රංජිත් අළුවිහාරේ සහ රංගේ බණ්ඩාර යන මහත්වරුන්ගේ නම් යෝජනා කර තිබේ. ශ්‍රී ල.නි.ප.යෙන් ලක්ෂ්මන් සෙනෙවිරත්න, පියසේන ගමගේ සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ නම් යෝජනා කර ඇතැයි සඳහන් වෙයි. එහෙත් එ.ජා.ප.ය අමාත්‍ය පදවියක් සඳහා නම් කළ රවි කරුණානායක මහතාගේ නම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබිණි. කෙසේ වෙතත් ඒ ගැන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පවත්වනු ඇතැයි කියැවේ.

නව අමාත්‍ය සංශෝධනයත් සමඟ අමාත්‍යංශ ගණනාවක විෂය කාර්යයන්ද වෙනස් කෙරේ. නව විද්‍යානුකූල විෂය බෙදීම අනුව මෙම වෙනස්කම සිදුවනු ඇතැයි සඳහන්ය.  ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්‍රීඩා හා යෞවන කටයුතු, සමෘද්ධි හා මුදල් අමාත්‍යංශ අලුතෙන් නිර්මාණය කෙරෙනු ඇතැයි වාර්තාවේ. ජනමාධ්‍ය අමාත්‍යංශය වෙනම අමාත්‍යංශයක් ලෙස පවත්වාගෙන යෑමට ඉඩ ඇතැයිද ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

(දේශය)

Info Sri Lanka TV

Powered by Blogger.