හෙට සිට නව ආණ්ඩුවක් : පූර්ණ කැබිනට් සංශෝධනය 06 වැනිදා.


අගමැති රනිල් වික්‍රමසිංහ මහාතට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළද, පරාජය වුවද හෙට(05දා) සිට අලුත් ආණ්ඩුවක් බිහිවීමේ වාතාවරණයක් උදාවී තිබේ.

විශ්වාසභංග යෝජනාව පරාජය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආණ්ඩු‍වෙන් ඉවත්වන බව දැනුම්දී ඇති අතර,එවිට  ජාතික ආණ්ඩුව අහෝසි වේ.

එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩුවක් පිහිටුවන බවත්, මේ සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඇතැම් පක්ෂවලද ආශිර්වාදය ලැබී ඇති බවද එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

එමෙන්ම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වුවහොත් පැයක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයෙකු පත්කිරීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී  තිබේ.

ඒ අනුව නව අගමැතිවරයා ඇතුළු නව කැබිනට් මණ්ඩලයක්ද පිහිටුවීමට සිදුවනු ඇත.

ජාතික ආණ්ඩුවක් නොවන තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේනම් එහි කැබිනට් ඇමති ධුර සංඛ්‍යාව 30කට සීමා විය යුතු බවත්, නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45කට නොවැඩි විය යුතු බවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.

පූර්ණ කැබිනට් සංශෝධනය 06 වැනිදා

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් පිරිසක් ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ, විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය අවසන්වීමෙන් පසු අප්‍රේල් 05 වැනිදා නැවතත් දෙපාර්ශ්වය හමුවිය යුතු බවට ජනාධිපතිවරයා අගමැතිවරයාට ප්‍රමුඛ කණ්ඩායමට යෝජනා කර ඇති අතර එහිදී විශ්වාස භංග යෝජනාවෙන් පසු තත්වය පිළිබඳ සාකච්ඡා කළහැකි බව ද සිරිසේන මහතා පවසා ඇත.

ලබන 06 වැනිදා කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට ද එකඟතාවයකට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව එදින පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිතය.

එහිදී විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කරන කිසිදු ඇමතිවරයෙකුට තනතුරු ලබා නොදීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති අතර ඒ අනුව ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි වනු ඇත.


ඔබතුමා දිනනවා, කලබල වෙන්න දෙයක් නෑ

ඉන්පසු ජනාධිපතිවරයා තමන්ගේ මතය ප්‍රකාශයට පත්කර ඇති අතර, 'ඔබතුමා මේ විශ්වාස භංග යෝජනාවෙන් දිනනවා. ඒක තමයි මගේ මතය. ඒ නිසා කලබල වෙන්න දෙයක් නෑ. බයවෙන්න දේකුත් නෑ' යනුවෙන් අගමැතිවරයාට පවසා තිබේ.


ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් අගමැතිවරයාට ආරක්ෂා කරගත යුතුය යන මතය නියෝජනය කරන බැවින් ඔවුන්ගේ සහාය ද ලැබෙන හෙයින් විශ්වාස භංග යෝජනාව ජයගනු ඇති බවට කිසිදු විශ්වාසයක් තමන්ට නොමැති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එජාපය හා ජනාධිපතිවරයා අතර පෙරේදා (02) පැවති සාකච්ඡාව තරමක උණුසුම් මුහුණුවරක් ගත් අතර කෙසේ වෙතත් අද පැවති සාකච්ඡාව සුහද අයුරින් පැවති බවයි වාර්තා වන්නේ. ඒ අනුව විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ආණ්ඩුවට මෙන්ම අගමැතිවරයාට ද වාසිදායක එකක් වනු ඇති බවට විශ්වාස කළ හැකිය.

Latest Video

Powered by Blogger.