සිල්ලර ව්‍යාපාර එක අතකට ගන්න සොෆ්ට්ලොජික් තීරණය කරයි.

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් යටතට ගැනෙන සියලූම සිල්ලර වෙළෙඳ ව්‍යාපාර එක් ආයතනයක් යටතට පත් කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් ලෙසින් සොටේලොජික් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම පසුගිය මාර්තු 09 වන දින සංස්ථාපනය කර තිබෙන අතර මේ වන විට එම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 6.27 කි (රු. 6,272,393,020.00). එය කොටස් 627,239,302 කින් සමන්විත වේ.

මෙහිදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී යටතේ තිබූ සොෆ්ට්ලොජික් කමියුනිකේෂන් සර්විසස් (පුද්) සමාගම, සොෆ්ට්ලොජික් මොබයිල් ඩිස්ට්‍රිබියුෂන් (පුද්) සමාගම සහ සොෆ්ට්ලොජික් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, රුපියල් බිලියන 2 ක වටිනාකමකට (රු. 2,090,249,773.28) සොටේලොජික් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම වෙත මාරු කර තිබේ.

තවද සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් විසින් 99.99% ක කොටස් හිමිකාරීත්වය දරන ලද සොෆ්ට්ලොජික් රිටේල් (පුද්) සමාගමේ හිමිකාරීත්වය ද රුපියල් බිලියන 4.18 ක (රු. 4,181,143,259.00) වටිනාකමකට සොටේලොජික් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම වෙත පවරා ඇත.

තවද මෙම ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙලේ තවත් පියවරක් ලෙසින් සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (පුද්) සමාගම හා ඔඩෙල් පීඑල්සී යන සමාගම් ද ඉදිරියේ දී සොටේලොජික් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම වෙත පැවරීමට නියමිතය.

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අසෝක් පතිරගේ මහතා විසින් මේ බව ඊයේ (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙන ලදී.

Latest Video

Powered by Blogger.