'එජාප තනි ආණ්ඩුවක් හදන්නේ නෑ' - මරික්කාර්


එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් නිර්මාණය නොකරන බවත් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිත කළ අමාත්‍යරුවන් සමග ඉදිරියට ගමන් කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

කොළොන්නාවේදී අද (05දා) පැවැති උත්සවයකදී අදහස් දක්වමින්  මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,

එ‍සේම අගමැතිවරයාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ දී රජයට පක්ෂව ඡන්දය භාවිත කළ ඇමතිවරුන් එම තනතුරින් ඉවත් නොවුණහොත් ඉවත් කිරීමට කටයුතු කරනවා.

"උදය ගම්මන්පිල සහ  විමල් වීරවංශලා වගේ මහත්තුරු කිව්වා අද උදේ ඉර පායන්නේ අලුත් ආණ්ඩුවක් අලුත් අගමැතිවරයෙක් යටතේ කියලා. අද උදේ ඉර පෑව්වා, ඒත් ඒ අගමැතිමයි ඒ ආණ්ඩුව යටතේමයි කියන එක ඒගොල්ලොන්ට දැන් මතක් කරන්න  ඕන. ඒ වගේම කකුල් දෙක දෙපැත්තෙන් ඉන්න අයට විරුද්ධව අගමැතිවරයා නිසි තීන්දු තීරණ ගන්න  ඕන. විශ්වාසභංගයේ දී රජයට විරුද්ධව නියෝජ්‍ය කථානායකවරයාත් ඡන්දය දුන්නා.

 නියෝජ්‍ය කථානායකවරයා අපක්ෂපාතීව තනතුරේ ගෞරවය ආරක්ෂා කරමින් ගෞරවාන්විත විදිහට දේශපාලනයෙන් තොරව හැසිරෙන්න  ඕනේ. රජයට විරුද්ධව ඇමතිවරු 15ක් ඡන්දය දුන්නා.  ඒ අයට රජයට විරුද්ධව ඡන්දේ දීලා ඇමතිකමේ ඉන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ නිසා ඒ පහළොස් දෙනා ගෞරවාන්විත විදිහට තමන්ගේ ආත්මගරුත්වය ආරක්ෂා කරගෙන අයින් වුණේ නැත්නම් ඔය ලැබිච්ච පිං ඇමතිකමින් අපි එළවනවා.

අපි අතිගරු ජනාධිපතිතුමාට විරුද්ධත් නෑ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධත් නෑ, අපි තනි ආණ්ඩු හදන්නෙත් නෑ, ඒ විරුද්ධ නොවිච්ච යහපාලනයේ වගකීම ආරක්ෂා කරපු අමාත්‍යවරු එක්ක එකතුවෙලා රට වෙනුවෙන් ජනවාරි  08 වැනිදා වරම ආරක්ෂා කරන්න කටයුතු කරනවා” යැයිද පවසා සිටියේය.

Info Sri Lanka TV

Powered by Blogger.