ලංකාවට මත්ද්‍රව්‍ය එන්නේ 62%ක් රේගුවෙන්, 25% මුහුදු මාර්ගවලින්.

ලෝක මත්ද්‍රව්‍ය ජාලයෙන් එන මත්ද්‍රව්‍ය තොගවලින් සියයට 62ක් රේගුව තුළින් ද, සියයට 25ක් බස්නාහිර සහ දකුණු මුහුදු මාර්ගවලින් ද රට තුළට ඇතුළුවන බව නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මත්ද්‍රව්‍ය සහ පාතාලය බරපතළ ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. එය මර්දනය කිරීම සඳහා රජය ජාත්‍යන්තර මෙහෙයුමක් ආරම්භ කැර තිබේ. ඒ සඳහා පොලිසියේ විශේෂ මෙහෙයුම් අංශ කිහිපයක් ද විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ කිහිපයක් ද එකතුවී එම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කැරගෙන යයි.

මෙම සංවිධානාත්මක අපරාධ සහ පාතාලයත් මත්ද්‍රව්‍ය ජාවාරමත් මර්දනය කිරීම අපහසු නොවන බව ද ඇමැතිවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙළිදරව් කෙළේය.

විදෙස් රටවලට පැනගෙන සිටින පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අති දැවැන්ත මූල්‍ය ව්‍යාපාරවලට අතගසා තිබේ. දැනට ලැබී ඇති බුද්ධි තොරතුරුවලට අනුව මෙරට මැණික්, සංචාරක හා හෝටල් ව්‍යාපාර ඇතුළු විශාල වශයෙන් මුදල් යෙදවිය යුතු ව්‍යාපාරවලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතගසා තිබේ. මෙරට සිටින කෝටිපති ව්‍යාපාරිකයන්ද මොවුන්ගේ මේ ව්‍යාපාරවලට හසුවී ඇති බව හෙළිදරව්වී ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙහිදී හෙළි කෙළේය.

මේ වනවිට පාතාල අපරාධකරුවන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන 94ක් සම්බන්ධව පරීක්ෂණ සිදුවෙයි.

මින් 54ක් බස්නාහිර පළාත තුළ සිදුවූ ඒවාය. පොලිස්පතිවරයා සෑම සතිය පුරාම සංවිධානාත්මක අපරාධ හා පරීක්ෂණ පවත්වන නිලධාරින් කැඳවා එම ඝාතනවල පරීක්ෂණ තත්ත්වය, පාතාල අපරාධකරුවන් කොටුකර ගැනීම, මත්ද්‍රව්‍ය මෙහෙයුම් ඇතුළු සියල්ල සම්බන්ධව පරීක්ෂණ විමසනු ලබයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරන ලද පරීක්ෂණ වාර්තාවලට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ප්‍රතිචාරය ප්‍රමාදයක් සිදුවෙයි. ඒවා කඩිනම් කිරීමට අදාළ සාකච්ඡා මේ වනවිට පවත්වා ඇත.

Info Sri Lanka TV

Powered by Blogger.