Ad

සීගිරි ගලෙන් වැටුණු යොවුන් පුරය වැටි වැටී යන ගමන.


මෙවර යොවුන් පුරය පැවැත්වුයේ නිකවැරටියේය. ඒ තුන්වන වරටය. එජාපයේ පැරණි සංකල්පයක් වන මෙය නැවත යහපාලන ආණ්ඩුව යටතේ ආරම්භ කළේ විසිහත් වසරකට පසුවය. සැබැවින් මෙවැනි දෑ අදට උචිතද? එය හිතීම වෙනුවට ආණ්ඩුව කරනුයේ වසරක් පාසා මුදල් නාස්ති කරමින් යොවුන් පුර පවත්වමින් ජෝගී නැටීමය.

වත්මන් ආණ්ඩුව තාරුණ්‍යය ගැන කතා කරන එකම ව්‍යාපෘතිය මෙය විය යුතුය. එයද හද්ද බංකොළොත් වැඩපිළිවෙළක් බව කිව මනාය. එහෙත් ඒ බව කියනුයේ කාටද? මේ ආණ්ඩුවට කුමක් කීවද බීරිඅලින්ට වීනා වයනවා මෙන්ය.

තරුණ කටයුතු අමාත්‍යාංශය සාගල රත්නායකට දෙන විට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කීවේ නරියාට කුකුල්ලු බාරදෙන බවය. එය උපහාසය හෝ අපහාසය පිරුණු කතාවක් වුව එහි අරුතක් ගැබ්ව ඇති බව කිව යුතුය.

යහපාලන ආණ්ඩුව පත්වන්නට පෙර තාරුණ්‍යයට දුන් පොරොන්දු අපමණය. යතුරු පැදියක යන යුවළක් යහපාලන ආණ්ඩුව ආ පසු මෝටර් රථයක් ගන්නා බවට කළ දැන්වීමට ඉහළ ප්‍රතිචාරයක් ලැබිණ. අවසානයේ යහපාලනය ආ පසු තුන් වසරක් ගෙවුණු පසු තාරුණ්‍යයේ අනාගතය අනාථබව පසක් වී හමාරය. ඒ අල්ල පනල්ලේ බොරු මුදල් නාස්තිය පිණිස යොවුන් පුරයක් නම් පවත්වමින් සිටී. තරුණ සේවා සභාවේ ක්ෂේත්‍ර නිලධාරීන්ට වැටුප් පවා ගෙවිය නොහැකි තත්ත්වයක් තුළ මෙවැනි ජෝගි නැටීමට නම් මුදල් ඇත.

සීගිරි ගමන

මහා ඉහළින් මේ ආණ්ඩුව සැමරූ පළමු යොවුන් පුරය පැවැත්වූයේ සීගිරියේය. නැවත යොවුන් පුර පවත්වනවාද යන්න එහි බංකොළොත් භාවයෙන්ම තේරුම්ගත හැකිව තිබුණි. එහෙත් මේ ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නා ආණ්ඩුවක් නොවේ. අපි කතා කළයුත්තේ සීගිරි ගමනමය. පුවත්පත්වල දැන්වීම් හරහා මේ පිළිබඳ විශාල ප්‍රචාරණයක් විය. එහෙත් එයට සහභාගි වූ තාරුණ්‍යයට අත්වූ සෙත කුමක්ද? මේ ආණ්ඩුවේ මුල්ම යොවුන් පුරයට සීගිරි ගිය තාරුණ්‍යයට සිද්ධ වූයේ සීගිරි ගලෙන් පත බෑවෙන්නටය.

අනාගතය ඇරඹුණා

ඉහත පාඨය යොවුන් පුරය වෙනුවෙන් ආණ්ඩුව ගෙන ගිය දැන්වීමකි. මෙය තුන් වසරක් ගෙවෙන තැන ජනතාව ආණ්ඩුවෙන් විමසිය යුතු පැනයකි. මාධ්‍යයෙන් එයට වැඩි ප්‍රචාරණයක් දුන්නද ප්‍රථම යොවුන් පුරය මාධ්‍යයට තහනම් කලාපයක් වූවා මතකය. මන්ද මාධ්‍යයට ඉඩ ලබාදී තිබුණේ සංවිධායකයන් ලබාදෙන නිශ්චිත තොරතුරු ලබාදෙන්නට පමණකි. රට පුරා තරුණ තරුණියන් බස් මගින් ඇද තිබුණද ඒ ගැන ඔවුන්ට දොඩන්නට තරම් බස් නොවීය.
ප්‍රචාරණයන්ට නම් විශාල මුදල් වෙන් කළද ඇති වැඩක් එහි නොවීය. දිගම්පතන සිට ගුවන් හමුදා කඳවුර දක්වා එකල නව මාර්ගයක්ද මේ යොවුන් පුරය වෙනුවෙන්ම ඉදිකොට තිබුණි. අද ඒවාට අත්වී ඇති ඉරණම කුමක්ද? බාගෙට ඇටවූ පාර යොවුන් පුරය අවසන් වන්නට පෙර ඇද හැලුණු සුළු වැස්සටම සේදී ගියේ තාරුණ්‍යයේ බලාපොරොත්තු පරිද්දෙනි.

තාරුණ්‍යය ඉලක්ක කොට සාර්ථක වැඩක් වී නම් දියව ගිය පාර අමතක කළ හැකිව තිබුණි. එහෙත් කිසිවෙක් නැති ඇටවූ බොරු මග දෙස බලනු හැර විකල්පයක් නොවීය.

ටී ෂර්ට් එකක් සහ කැප් එකක් ඇරුණු කොට තාරුණ්‍යයට එයින් ලැබූ දේ කුමක්ද? මීට පෙර තරුණ සේවා සභාව කළ වැඩසටහන් හරහා ඉටුවූ මුඛ්‍ය පරමාර්ථයවත් මෙහිදී සිදු නොවීය. එනම් රටේ හතර දිග් භාගයෙන් පැමිණෙන තරුණ තරුණියන් අතර ඇතිවූ සම්බන්ධතාව වුව මේ යොවුන් පුරය හරහා ඉටු නොවුණි. එය දෙවන වර කළද සාර්ථක නොවුණි. හැමෝටම සබඳතා ගොඩනගා ගන්නට සිදුවූයේ දිස්ත්‍රික්කයෙන් ආ තම පිරිස අතරේම පමණි. මීට අමතරව ලද එකම කෙටි අවස්ථාව නම් ගිනිමැල සංදර්ශනය පැවැත්වූ වේලාවේදීය. අනෙක මෙය නැරඹීම සාමාන්‍ය ජනයාට තහනම් වූහ. අඩුම තරමේ මෙහි විශේෂ වැඩසටහනකට සහභාගි වූ ළමයකුගේ මව්පියන්ට පවා එය නැරඹීම තහනම් විය. කොටින්ම මේක ඇතුළේ වෙන දේ නරඹන්නට ගමේ අයට පවා තහනම් විය. මෙතරම් රහසිගතව මේවා කරන්නේ ඇයි?

මෙහිදී කිවයුතු තව දෙයක් නම් කඳවුරු භූමියේ පැවති ඩයලොග් ආයතනය සහ මයික්‍රෝ ආයතන විසින් සකස් කර තිබූ කුටි දෙක පමණක් නැරඹීමට පැය දෙකක කාලයක් ගම්වාසීන්ට ලබාදී තිබුණි.

එම ප්‍රදේශවල තරුණ තරුණියන්ට පවා යොවුන් පුරය තුළ ඔවුන්ට කළ හැකිව තිබුණේ සීගිරි නගින එක සහ නාට්‍ය පෙන්වන එකය. වැඩක් නැති වුවද දේශපාලකයන්ට ලොකු වැඩක් තිබුණි. ඒ එක එක දවසට පැමිණ තම පම්පෝරි ඇද බෑමට ලද ඉඩය. තරුණියකගේ ඇඟට ඩිජිටල් පුවරුවක් කඩා වැටී වූ හානිය ඇරුණු කොට ඉන් ඉතිරි වූ යමක් නොවීය.
යහපාලන ආණ්ඩුවේ තාරුණ්‍යය පිළිබඳ ආකල්පය මෙතකැයි පළමු යොවුන් පුරයෙන්ම තහවුරු විය. එහෙත් එය නොනවත්වා වසරක් පාසා කරගෙන යන ව්‍යාජ වැඩසටහනක් බවට පත්ව තිබේ.

බැලුම් යැවීම

තාරුණ්‍යය ඩිජිටල් යුගයකට රැගෙන යන බව පවසා අමාත්‍ය හරින් ප්‍රනාන්දු බැලුම් ඇරියාද මතකය. එහෙත් ඒ බැලුනය ගුවන්ගත කිරීමට ප්‍රථම කඩා වැටුණි. එබැවින් බැලුම් යැවීමත් ලත් තැනම ලොප් විය. මේ අනුව තාරුණ්‍යය මවාපාන්නට ගැසූ ඩිජිටල් හීනයද හීනයක්ම විය. ගූගල් සමාගම මගින් ගුවන්ගත කිරීමට නියමිත වූ එම බැලුනය මගින් රටටම අන්තර්ජාල පහසුකම් ලබාදෙන බවට ප්‍රචාරය වුවත් අවසානයේ බැලුම හෝ ගුවන්ගත කළ නොහැකි විය. ගූගල් සමාගම විසින් ලංකාව තුළ ගුවන්ගත කරනුයේ බැලුම් 15ක් බවත් එක් බැලුමක් මගින් අන්තර්ජාල සම්බන්ධ විය හැකිවනුයේ 6,000ක පමණ ප්‍රමාණයකට බවත් ගණන් බලා තිබේ. මෙම යොවුන් පුරයේදී උඩ යවන්නට බලාපොරොත්තුව ඇත්තේද එවැනි එක බැලුමකි. එහෙත් ප්‍රචාරණය වූයේ ලංකාවටම අන්තර්ජාල පහසුකම් දෙන බැලුනයක් බවය.

අද තාරුණ්‍යය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය නම් විරැකියාවය. එයට පිළියම් නොසොයා බැලුම් උඩ හැරීම හරහා ඇතිවන සෙත කුමක්ද? මෙවර පැවැත්වෙනුයේ යොවුන් පුරයේ තෙවන අදියරයය. එය ඉලක්ක කොට පළමු යොවුන් පුරය ගැන ලීවේ අන් දෙයකට නොව මෙය පුස් වෙඩිල්ලක් බව කියන්නටය. මහා වෙර දැරූ කල සීගිරියේ පැවති පළමු යොවුන් පුරය ගැන නැවත මතක් කරනුයේ මේ නාඩගම බොරු මුදල් කා දමන වැඩක් බැවිනි.

ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට මෙවර යොවුන් පුරය ගැන ප්‍රචාර දැන්වීම් පළවේ. වසරක් පාසා මේ බොරුව ඇදගෙන යන බව එය දෙස් දෙයි. ඊටම උචිත සෝබන සභාපතිවරයෙක්ද තරුණ සේවා සභාවට පත්වී ඇත. ඔහු කරනුයේ විශාල ඩිජිටල් තිර දෙකක් මාර්ගයට පෙනෙන සේ අටවාගෙන උදේ හවා තමන්ගේ රූපකාය පෙන්වීමය. එය මහරගම යන එන අයට අප්පිරියාසහගත දසුනක් බවට පත්වී ඇත. අද තරුණ සේවා සභාව යනු විශාල ගොඩනැගිලි පමණි. එහි සභාපතිවරු කාලෙන් කාලෙට මාරුවෙති. එහෙත් මින් වත්මනෙහි තාරුණ්‍යයට වන සෙතක් නැතිය.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ පවා වැඩ ඇල්ලුවේ මේ තරුණ කටයුතු ඇමතිකම හරහාය. එහෙත් ඔහුගේ අද ක්‍රියාකලාපයන් ජුගුප්සාජනකය. එවන් කලෙක ඔහු යටතේ තරුණ කටයුතු ඉදිරියට යෑමක් දැකිය නොහැකිය. තවදුරටත් තරුණ සේවා සභාවක කාර්ය වැදගත්ද යන්න ප්‍රශ්නාර්ථයකි. එයින් තාරුණ්‍යයට බොහෝ දෑ කළ හැකි වුවත් හරසුන් යොවුන් පුරයට හැර එයින් කළ හැකි වෙන කිසිවක් නැති තැනට අද තල්ලු වී ඇත. මේ යොවුන් පුරය යන්න වසරින් වසර කළ යුතු වැඩක් නොවන බව යහපාලන ආණ්ඩුව සීගිරියේ පැවති ප්‍රථම ‘යොවුන් පුරයෙන්’ පැහැදිලි විය. එහෙත් එය වටහාගෙන ඇති අයුරක් නොපෙනේ. මේ ආණ්ඩුව අවසන් කාලපරිච්ඡේදය ගෙවමින් පවතී. එබැවින් ඒ කෙටි කාලය තුළත් බොරු වැඩ කිරීමෙන් කාලය කා දමනු හැර වෙන විකල්ප ඔවුන් සතුව නොපවතී. මේ ආණ්ඩුවේ බොහෝ වැඩ අසාර්ථකය. යොවුන් පුරයද ඉන් එකකි.

සීගිරියේ පැවති පළමු යොවුන් පුරය ආණ්ඩුව හැකි හැම වෙරම දමා කළද එයම අසාර්ථක වූ තැන ඉන්පසු කරන යොවුන් පුර වගේ වගක් නොවීය. එහෙත් ඒවාට වියදම් වන මහජන මුදල් කන්දරාව අපරාධයකි. නිසි දැක්මක් නැති මේ ආණ්ඩුවේ තරුණයන් අන්දන අංක එකේ වැඩසටහන වී ඇත්තේ යොවුන් පුරයය. ඒ අසාර්ථක, බංකොළොත් වැඩසටහන මෙවරද නිකවැරටියේදී පැවැත්වේ. තාරුණ්‍යය මේ තරම් හෑල්ලු කළ හැකිද?

(ටිරන් කුමාර බංගගමආරච්චි)

Powered by Blogger.