මෙන්ඩිස්‌ අරක්කුවලින් මුදල් ගත් දේශපාලනඥයින් මාට්ටු වන ලකුණු.


පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් දේශපාලනඥයින්ට හා වෙනත් පුද්ගලයින්ට ලබාදී ඇති මුදල් සම්බන්ධයෙන් සවිස්‌තර වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (10 වැනිදා) පස්‌වරුවේ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරීවරයාට නියෝග කළාය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් රහස්‍ය දත්ත උපයෝගී කරගනිමින් මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් කෝටි 9147 ක අයුතු ලාභයක්‌ උපයාගත් බව කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම එලෙස උපයාගත් මුදලින් කොටසක්‌ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමට ආයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

 පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් පසුගිය වසරවල ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් පොලිස්‌පතිවරයාට ලබාදෙන ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී ආදායම් කොමසාරිස්‌ ජනරාල්වරයාට නියෝග කළාය.

 මහජන යහපත වෙනුවෙන් සිදුකරන පරීක්‍ෂණ සඳහා ඕනෑම පුද්ගලයකුගේ හෝ සමාගමක වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාදෙන ලෙසට පොලිස්‌පතිවරයා ඉල්ලීමක්‌ කළ විටකදී ඒ සම්බන්ධයෙන් නියෝගයක්‌ ලබාදීමේ නීතිමය හැකියාව ඇතැයි පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

විමර්ශන කඩිනම් කිරීමට සීඅයිඩියට නියෝග:

එම නඩුවේ දෙවැනි හා සිවුවැනි සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන දෙදෙනා ලබන 24 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද එහිදී මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.

 එම සැකකරුවන්ට එරෙහිව සිදුකරන විමර්ශන කඩිනම් කරනා ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

 එම නඩුවේ පළමුවැනි සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කළ රතු නිවේදනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ලේඛන හා ඔහුට එරෙහිව ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ ලේඛන ජාත්‍යන්තර පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද රජයේ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

Info Sri Lanka TV

Powered by Blogger.