ඉදිරි දෙසතියේ දී තවත් ඖෂධ රැසක මිල අඩු වෙයි.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කළා මෙන් ඉදිරි සති දෙකකින් තවත් ඖෂධ වර්ග ගණනාවක මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. යහපාලන ආණ්ඩුව යටතේ රෝගීන්ට ලබා දිය හැකි උපරිම සහන ඉහළින්ම ලබාදීමට කටයුතු කරන බවත් එමඟින් මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් පුළුල් හා කාර්යක්ෂම වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. දකුණු ආසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම රටවලට සාපේක්ෂව හොඳම සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වනුයේ ශ්‍රී ලංකාවේ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇතැයි ද ඇමැතිවරයා පැවැසුවේය. ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධානය කළ මෙම උත්සවයට සහභාගී වෙමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඇමැතිවරයා මේ බව ඊයේ (10) ප්‍රකාශ කළේය.

මධ්‍යම ආර්ථිකයක් පවතින රටක් වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව අමෙරිකාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව හා සමාන වී ඇති බවත් අමෙරිකාවේ සෞඛ්‍ය මට්ටම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය මට්ටමට වැටී ඇති බව පසුගිය දා ඉන්දියානු පුවත්පතක් මගින් වාර්තා කර තිබූ බවත් ඇමැතිවරයා මතක් කළේය. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් රටේ ජනාධිපතිවරයා බවට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතා පහසුවෙන් පසුගිය වසර කිහිපයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවක් ලබා ගැනීමට හැකි වූයේ යැයි ද, රුපියල් කෝටි 50,000ක මුදලක් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පසුගිය වසරේ දි වියදම් කළේ යැයි ද ඇමැතිවරයා පැවැසුවේය. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සහභාගීත්වයෙන් සංවිධාන කළ මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු හෙද හෙදියන් විශාල පිරිසක් සහභාගී වූහ.

Latest Video

Powered by Blogger.