ඉදිරි දේශපාලනය පිළිබදව සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්.


සෞඛ්‍ය සේවාව  සදහා ඉදිරිපත්වන ආයෝජකයින් දිරිගන්වන බවත්, අල්ලස් ලබාගැනීමෙන් තොරව සෘඡුව  සාකච්ඡා කර ව්‍යාපෘති ආරම්භ කරන බවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කළුතර මහ රෝහලේ රුපියල් මිලියන 1030 ක වියදමින් ඉදි කරන ලද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (10)  පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “දුප්පතුන්ට හිතවත් හොදම සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ. මම සමනළ කන්ද නගින්න හැටන් පාරෙන් උත්සාහ කළා. නමුත් දැන් ඉදිකටුපානෙන් කන්ද නගිනවා. පරමාර්ථ වෙනස් කරන්නේ නැහැ. සෑම අවස්ථාවක දීම ඕනෑම වංගුවක් ගහලා යන්න ඕනි තැනට යනවා. පක්ෂ පාට මට වැදගත් නැහැ. අවශ්‍ය පාට නැතිවෙලා ගිහිල්ලා. තිබෙන පාට අරගෙන ඉදිරියට යමින් ජනතාවට සේවය කරනවා.”

“සෞඛ්‍ය සහ අධ්‍යාපනය සදහා වත්මන් රජය විශාල ලෙස මුදල් වැය කරනවා. ආයෝජකයින් සමග සෘඡුව කථා කර අල්ලස් ලබාගැනීමකින් තොරව ආයෝජන දිරිගන්වනවා. යුරෝපා සංගමයට අයත් රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා සහයෝගය ලබා දී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයත් දිවයිනේ දිස්ත්‍රික්ක 03 ක සෞඛ්‍ය සේවාවන් නංවාලීම සදහා සහයෝගය ලබාදීමට සුදානම්. ලෝක බැංකුව බෝනොවන රෝග පාලනය කිරීම සදහා අමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබා දී තිබෙනවා. එම මුදල් වැය කරන්න සිදුව ඇත්තේ පවතින රාජතන්ත්‍රය සමගයි. නීති රීති කථා කරනවා. රාජ්‍ය නිලධාරින් ලිපිගොනු පුරවාගෙන සිටිනවා. පෞද්ගලික අංශය එහෙම නැහැ. රාජ්‍ය සේවාව වෙනස් කරන්න හදනකොට කියනවා දුෂණය කියලා. දූපත් මානසිකත්වයෙන් තමයි ඔවුන් කටයුතු කරන්නේ.”


“කළුතර දිස්ත්‍රීක්කයේ කළුතර, පානදුර හා හොරණ රෝහල් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. කොළඹට පමණක් සීමා වී තිබූ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කළුතර, යාපනය, අම්පාර, රාගම සහ ගාල්ල යන ප්‍රදේශවල ළමා රෝහල් ද ඉදිකරනවා. හදිසි අනතුරු වලින් වසරක දී 25000 ක් මිය යනවා. තවත් පිරිසක් ආබාධිත වෙනවා. හදිසි අනතුරකට ලක්වූවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සදහා රෝහල් කරා ගෙනයාමට ඉන්දීය ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි. ජර්මනියෙන් ගිලන් රථ හෙලිකොප්ටර් යානා ද, ආපදා රථ ද ගෙනඒමට පියවර ගෙන තිබෙනවා. කළුතර මහ රෝහල අංග සම්පුර්ණ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබෙනවා. එම නිසා කළුතර සහ පානදුර රෝහල් සංවර්ධනය කළ යුතුයි.  රෝහල්වල සෑම බද්ධ කිරීමක්ම ආරම්භ කර තිබෙනවා. අපට සිටින විශේෂඥ වෛද්‍යවරු හරිම හොදයි. ඔවුන් රටහැර යන්නේ අවශ්‍ය පහසුකම් නොලැබීම නිසයි. එම නිසා පහසුකම් ලබාදෙමින් ඔවුන් රදවා ගැනීමට කටයුතු කළ යුතුයි. බද්ධ කිරීම් සදහා අවශ්‍ය අවයව ගුවනින් ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේ දී ආරම්භ කරනවා.”

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් රෝහලේ සේවකයින්ට සහතික හා සම්මාන පිරිනැමීමක් ද ආබාධ වූවන්ට රෝද පුටු පිරිනැමීමක් ද සිදු කරන ලදි.

මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී ඉෂ්ඨිකාර් ජමීල්, කළුතර නගර සභා සභාපතිවරයා ඇතුලු පළාත් පාලන නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් මහතා, රෝහල් අධ්‍යක්ෂ ප්‍රදීප් විඡේසිංහ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 

Info Sri Lanka TV

Powered by Blogger.