මෛත්‍රී සහ මහතීර්...

මෑතකදී ජනපති මෛත්‍රී මැලේසියාවේ සංචාරයක යෙදුනේය. ඒ සංචාරය සිදුවෙන විට මැලෙසියාවේ අගමැතිව සිටියේ නජීබ් රසාක්ය. මැලේසියාවට ගිය ජනපති මෛත්‍රීට තිබූ දැඩි උවමනාවක් වූයේ විශේෂ අමුත්තෙකු මුණ ගැසීමය.

ඔහු අන් කවරෙකුවත් නොව මැලේසියාව ගොඩනැඟූ මිනිසා වූ 'මහතීර් මොහොමඩ්'ය.

'මට ඔහු හමුවෙන්න අවශ්‍යයි'

මෛත්‍රී මැලේසියානු බලධාරීන් සමඟ කීවේය. ඒ වෙනකොටත් දේශපාලනයෙන් ඉවත්ව නිස්කාන්සුවේ සිටින මහතීර්ව ජනපති මෛත්‍රී හමුවෙනවාට ඔවුන් කැමැති වූයේ නැත. ඒ සියල්ලටත් වඩා මැලේසියානු බලධාරීන් වඩාත් කළබල වූයේ මහතීර්ගේ දේශපාලනය ඔවුන්ගේ අවශ්‍යතා සමඟ සමාන්තරව ගමන් නොකළ බැවිනි. එහෙත් මෛත්‍රීට ඔහුව හමුවීම අත්‍යවශ්‍යම විය.ඒ නිසාම සෙස්සන්ගේ නොකැමැත්ත නොතකා මෛත්‍රී මහතීර්ට කතා කළේය. මැලේසියානු දේශපාලනය පිළිබඳ පෘථුල අවබෝධයක් තිබූ මහතීර් එවිට මෙසේ යෝජනා කළේය.

'මට ඔබතුමා හමුවෙන්න ඕන. ඔබ කොහෙද මේ වෙලාවේ ඉන්නේ?'

ජනපති. මහතීර්ට කතා කළේය.

'මම ඔබ සිටින හෝටලයට එන්නම්'

මහතීර් කීවේ එහෙමය.

එහෙම කී මහතීර් මෛත්‍රී නවතැන්ගෙන සිටි හෝටලයේ කාමරයටම විත් මෛයිත්‍රී හමු විය. ඔවුන් අතර වූ සංවාදය අපූරු එකක් විය.

'ඔබේ රට දැන් කොහොමද?'

මෛත්‍රී එහෙම අසද්දී මහතිර් කීවේ 'මැලේසියාව එකම ජාතියක් විදිහට පෙරට යනවා'කියලාය.

'ඔබගේ රටට තියෙන ප්‍රශ්න මොනවද?' අනතුරුව මහතීර් මෛත්‍රීගෙන් ඇසුවේය.

'ණය බර'මෛත්‍රී කීවේය.

'ඉන් ගොඩ එන්නනම් එකම රටක් විදිහට ස්වාධීනව නැගිටින්න ඕනා. ණය ගෙවන්න ණය වෙන එකත් වැරදියි'

මහතීර් කීවේය.

ඒ වෙනකොටත් ඉකුත් ආණ්ඩුව සමයේ ශේෂ කළ 'ණය පිට ණය'වලින් රට හෙම්බත්ව සිටියේය.

ඊයේ මැලේසියාවේ අගමැතිකමට නැවත පත් වූයේ එදා මෛත්‍රී හමුවෙන්නට ආ මහතීර් මොහොමඩ් ය.

92 වැනි වියේ පසුවන මහතීර්ගේ නැවත පැමිණීම එක්ක ලංකාවේ සමහරු අමුතුපහේ' හිත් රවට්ටා ගැනීමක යෙදි සිටින බවක් පෙනෙන්නට තිබේ. වයස 92දී ලෝකය විශ්මයට පත් කළ මිනිසුන් දුර්ලභය. මහතීර් තරම් විප්ලවයක් කළ එවන් වයසක පසුවන්නේක් මේ සියවසේ සිටියාදැයි යන්න සැක සහිතය.

'අනූ දෙකේදීත් මිනිස්සු මහතීර් ඉල්ලනවා. එහෙම එකේ හැත්තෑවක් වෙච්ච මහින්ද ඉල්ලනකොට මෙහෙ උන් බලලෝබියා කියලා බණිනවා'

සමහරු 'මහතීර් සාධකය'මෙහෙට ආදේශකරගෙන 'මහින්ද ආගමනයක් ගැන' සිහින දකිති.

උඩින් පල්ලෙන් මහතීර්ගේ ආගමනය 'අතපත ගා' බලන අය එහෙම සිහිනෙක හිටියට ගැඹුරින් විමසා බලනකොට ඒ සමානකම අහසට පොළව තරම් වෙනස් ය.

මහතීර් පරාජය කළේ ඔහුගේම පක්ෂය ය. 1981-2003 දක්වා රට පාලනය කළ ඔහු 2003 අගමැතිකමෙන් ඉවත්ව පක්ෂයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේය. 2008 වෙනතුරු ඔහු පක්ෂයට සහ ආන්ඩුවට 'යා යුතු අත' කියා දුන්නේය.

කකුලෙන් ඇද්දේවත් 'මහතීර් සමඟ නැගිටිමු'කියා ජනතාව කුලප්පු කළේත් නැත. 2003 සිට 2018 දක්වා මහතීර් 'ගරුකටයුතු ලෙස' ඉවසාගෙන සිටියේය. මෙහේ අය 'මහින්ද එක්ක නැගිටිමු' කියා මාස තුනෙන් කුලප්පු වෙද්දී ඕනනම් මහතීර්ට 'ක්වාලාලාම්පූර්' පුරවන්නට සෙනඟ ගේන්නට පුලුවන්කම තිබ්බේය.

එහෙත් මහතීර් එහෙම කළේ නැත.

රටක් ගොඩනැඟූ මිනිසා දේශපාලනයෙන් සමුගෙන යද්දී මැලේසියාවේ ප්‍රබුද්ධ මිනිස්සු මහතීර්ගේ නිවස වටලා නජීබ්ව 'මරලා හරි' ඉන්න කියා ඉල්ලුවේ නැත.

අවුරුදු පහළොවක් ඔහු නජීබ්ට නිස්කාන්සුවේ ආණ්ඩුව කරන්නට ඉඩ දුන්නේය.

මහතීර් ඉවත්ව ගියේ ඡන්දයකින් පරාජය වී නොවේ. ඔහු 'අත්හැරියේය'.හරියටම කීවොත් බලය අත්හැරියේය. 19සංශෝධනයෙන් මෛත්‍රී කළේත් 'අත් හරින'එකය.

එහෙම බැලුවම මහින්දයි මහතීරුයි එක වගේද?

මහතීර් බලය අත්හැරියේය. මහින්ද 18 ගෙනත් බලය සදාකාලික කරගන්නට වෙහෙසුනේය. මහතීර් ඡන්දයෙන් පරාජය නොවීය. මහින්ද දෙවරක්ම පරාජය විය. මහතීර් අවුරුදු පහළොවක් ආණ්ඩුවට ඉඩ දුන්නේය. මහින්ද මාස තුනේ ආණ්ඩුව පෙරලන්න වලිකෑවේය.මහතීර් ජාතිවාදය වෙනුවට 'එකම මැලේසියාවක්' වෙනුවෙන් කැපවිය. මහින්ද 'ජාතිවාදය'මත 'ඒකාධිපති' රටක් හැදුවේය. මහින්ද හොරු ආරක්ෂා කළේ 'කාගේ කාගෙත් ෆයිල් මගේ ගාව තියෙනවා. හැබැයි මම ඒවා එළියට දානේ නෑ'කියමිනි. හැබැයි මහතීර් තමාගේ ආණ්ඩුවේ සිටි නියෝජ්‍ය අගමැති සහ මුදල් ඇමැති ධූරය දැරූ අන්වර් ඊබ්‍රහිම් ඉන් නෙරපා හැර දඬුවම්ද ලබා දුන්නේය. මෛත්‍රීත් එහෙම කළේය.

මහතීර් මැලේසියාව හැදුවේ දක්ෂ අමාත්‍යවරු වගේම දක්ෂ නිළධාරීන් පත්කරලාය. ඔහු කිසිවිටෙක වැරදි පුද්ගලයින් තනතුරුවලට පත් නොකළේය. මහතීර් මැලේසියාව දියුණුකලේ සුද්දන් එක්ක 'එව සටනට' කියා අවි අමෝරමින් නොවේය. 'මැදමූලන පන්නයට'රටක් කළ මහින්ද මහතීර්ට සමාන වෙන්නේ නැත.

ව්‍යාපෘතියක් කරන විට මහතීර්ගේ ආණ්ඩුව 'කුට්ටිය' ඉල්ලා සිටියේ නැත. හැබැයි මහින්දගේ ආණ්ඩුව 'අල්ලස දූෂණය සහ පගාව නොනිල ලෙස' නීතිගත කොට' තිබ්බේය.

රට හදන්න 'කොම්න්වෙල්ත්' ගේන්න ඕන කියමින් 'එදාවේල දේශපාලනය'මහතීර් කළේ නැත.මහින්දලානම් ඒක අපූරුවට කළේය. 'වතුර ඉල්ලා පාරට බට මිනිසුන්ට' ගිනි බින්දේ මහින්දලාය. අධ්‍යාපනයට සීයට 6ක් වෙන් කරන්න කී සරසවි ආචාර්‍යවරුන්ට සමච්චල් කළේ මහින්දලාය. හැබැයි මහතීර් මැලේසියාවේ බුද්ධිමය සම්පත් එක්ක 'සෙල්ලම්' කළේ නැත.

ලෝක ඉතිහාසයේ බිහිවන කුමන චරිතයටත් 'යම් වැඩක්' පැවරී තිබේ. එකී කාර්‍යය විසින් ඔහු සිටිය යුතු ආස්ථානය තීරණය කරනු ඇත.

සිදුවීමක් දෙකක් හුදකලාකොට අල්ලාගෙන එය සමස්ථ අර්ථය ලෙස ගැනීම තරම් වරදක් තවත් නැත.

වින්සන්ට්‌ චර්චිල් උසස් දේශපාලඥයෙකු මෙන්ම ව්‍යක්ත දේශකයෙකු ලෙසද ප්‍රසිද්ධය. පළමු ලෝක යුද්ධ කාලසීමාවේදී චර්චිල් පළමු අද්මිරාල්වරයා වශයෙන්, යුද්ධෝපකරණ පිළිබඳ ඇමතිවරයා වශයෙන්ද, යුධ මහලේකම්වරයා වශයෙන් හා ගුවන් කටයුතු පිළිබඳ රාජ්‍යය ලේකම්වරයා වහයෙන්ද කටයුතුකරන ලදී. තවද, භාණ්ඩාගාර චාන්සලර් තනතුර හොබවනු ලැබුවේද වින්ස්ටන් චර්චිල් විසින්මය.‍ ලන්ඩනයට බෝම්බ වැටුණි. දහස්‌ ගණන් ලන්ඩන් වැසියන් මියගියහ. තමාට සුපුරුදු සුරුට්‌ටුව දෙතොල තුළ රඳවා ගනිමින්, තම දකුණතින් ඉංගී්‍රසි වී (V) අකුර පෙන්වමින්, සටන් පෙරමුණේ සැම තැනකටම ගොස්‌ උපදෙස්‌ දෙමින්, හමුදාව දිරිමත් කිරීමට වින්ස්‌ටන් චර්චිල් අමතක නොකළේය.

ඉතාමත් බුද්ධිමත් විචක්‌ෂණශීලි බුද්ධිමත් යුද උපාය ඥනයක්‌ පෙන්නුම් කළ වින්සන්ට්‌ චර්චිල්, අපූරු විදේශ ප්‍රතිපත්තියක්‌ද අනුගමනය කළේය. රුසියාව, ඇමරිකා එක්‌සත් ජනපදය සමග මිතුරු ගිවිසුමක්‌ අත්සන් කළේය. වොෂින්ටනයටත්, මොස්‌කව් නගරවලටත් ගියේය. කැසබිලන්කා (Casabalanka), ක්‌වෙබෙක්‌ (Qwebec), ටෙහෙරාන් (Teheran), යෝල්ටා (Yalta) හි මිතුර නායකයන් සමග රැස්‌වීම් සංවිධානය කළේය.

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයෙන් පසුව චර්චිල් පළමු අද්මිරාල්වරයා වශයෙන් පත් කරන ලදී. 1940 මැයි මස 10 වන දින නෙවිල් ෂෙම්බර්ලේන් ගේ ඉල්ලා අස්වීමත් සමග චර්චිල් බ්‍රිතාන්‍යය අගමැති තනතුරට පත් වූ අතර ඔහු විසින් බ්‍රිතාන්‍යය බල අක්ෂයට එරෙහිව ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය.

හැබැයි මේ අසහාය නායකයා 1945 ඡන්දය පරාජ ය විය.'ලෝක යුද්ධ දෙකක වීරයා 'සදාකාලික රාජ්‍යත්වයේ තියා ගන්නට' මිනිස්සු හීන දැක්කේ නැත.

කැස්ත්‍රො කියුබාවේ අද්විතීය නායකයාය. හැබැයි විශ්‍රාම ගියායින් පසු ඔහු 'කැස්ත්‍රෝ සමඟ නැගිටිමු' කියා පාරවල්ගානේ ගියේ නැත. නෙල්සන් මැන්ඩෙලා අප්‍රිකාවේ පියා ය. දශක දෙකක් ඉක්මවා සිරගතව රට වෙනුවෙන් දුක් වින්ද ඔහු විශ්‍රාම ගියාට පස්සේ 'රාජ්‍ය පාලනයට' ඇඟිලි ගැසුවේ නැත.

දෛවය හෝ ඉරණම හෝ සොබාදහම විසින් පැනවූ කාර්යභාරය ඉටුකළ පසු ඔහු එකී කාර්‍ය ඉටුකළ මිනිසා ලෙස මූද්‍රාව තබයි.

'මහතීර් වගේ මහින්ද එන්න ඕන' කියන සමහරු මහින්ද නොකළ දේ සහ මහතීර් කළ දේ නොසලකති. එක්කෝ එහි අනෙක් පැත්ත කරති.

මේ ස්වයංවින්දන' මානසික හිත් රවටා ගැනීම පසෙකින් තැබූ කළ 'මහතීර් වගේ මහින්ද එන්න ඕන' කියන අයට 'පොහොට්ටුවේ' අරගලය අමතක ය.

සමහරු කියන්නේ එන්නේ 'මහින්ද' කියලාය. තවත් සමහරු කියන්නේ 'නෑ නෑ එන්නේ ගෝඨා' කියලා ය. තවත් පිරිසක් කියන්නේ 'අපේ නායකයා බැසිල්'කියලාය. ගිය මැයි රැලිය ඉවර වෙලා ගෙදර එමින් සිටි පොහොට්ටුවේ ආධාරකරුවෙක් මෙහෙම කීවේ හිතවතෙක්ටය.

'පොහොට්ටුව ගිය ඡන්දේ දින්න තමයි. ඒක දැන් හයිජැක් වෙලා ඉවරයි. තුන්දෙනෙක් මරාගන්නවා 2020 ඡන්දෙට එන්න. යූ එන් පී එකේවත් ශ්‍රීලංකා එකේවත් එහෙම මරා ගැනිල්ලක් නෑ. එකම පවුලේ තුන්දෙනෙක් මරාගෙන මැරෙණ ඡන්දයක් 2020 බලාගන්න පුලුවන්.'

ඒ පාක්ෂිකයා කියන දේ ගැන දැන්ම අනාවැකි කියන්න කල් වැඩිය. හැබැයි ඉතිහාසයේ ප්‍රථම වතාවට එකම පවුලේ තුන්දෙනෙක් එකිනෙකාට බෝම්බ ගසා ගන්නා තත්ත්වයක් හට නොගත්තොත් ඒක පුදුමයක් ය.

අවසන් වශයෙන් එකක් කිව යුතුය. ඒ මහින්ද යනවිට ඉතිරි කළ දේ සහ මහතීර් යනවිට ඉතිරිකළ දේ සොයා බැලුවොත් දෙදෙනා අතර වෙනස අහස හා පොළොව තරම්බව වටහාගත හැකි බවය.

[රංජිත් කුමාර ]
[www.resa.lk]

Info Sri Lanka TV

Powered by Blogger.